ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම (ETCA) සම්බන්ධයෙන් වන සාකච්ඡා ඉදිරියටත් පවත්වාගෙන යෑම සඳහා දෙරටම ඒකමිතියකට පැමිණීමට දෙරටම එකඟතාව පළ කර ඇතැයි වාර්තා වෙයි. පසුගිය සිකුරාදා පැවැත්වුණු ඉන්දු - ලංකා ඒකාබද්ධ කොමිසම හමුවේ මෙම තීරණයට පැමිණ තිබේ. ඒ අනුව, දෙපාර්ශ්වයටම වාසි සැලසෙන ආකාරයෙන් මෙම ගිවිසුම්ගතවීමට දෙරටම සැලසුම් කර ඇතැයි වැඩිදුරටත් සඳහන් වෙයි. එහිදී ඊට අදාළ සාකච්ඡාවක්ද පසුගියදා මෙරට සංචාරයක නිරත වූ ඉන්දියාවේ විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අතර පවත්වා තිබේ.
මෙම එකඟතාවට අනුව එළැඹෙන මාර්තු මුල් සතියේදී ඉන්දියාව විසින් තීරු බදු රහිත බාධක සහ ජාත්‍යන්තර වෙළෙඳාමේදී පවතින රෙගුලාසි සහ ක්‍රියාදාමයන් පිළිබඳව මෙරට දැනුම්වත් කිරිම සඳහා වැඩමුළුවක් පැවැත්වීමටත් සැලසුම් කර තිබේ. මීට අමතරව මෙම ඉන්දු - ලංකා ඒකාබද්ධ කොමිසමේදී දෙරට අතර සිදුකිරීමට නියමිතව ඇති, දැනට සාකච්ඡා මට්ටමේ පවතින ව්‍යාපෘති සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීමක්ද සිදු වී ඇත. පලාලි ගුවන් තොටුපොළේ අලුත්වැඩියාව, කන්කසන්තුරේ වරායේ යටිතල පහසුකම් සංවර්ධනය, සාම්පූර් බලාගාරය සහ ත්‍රිකුණාමලයේ විශේෂිත ආර්ථික කලාපය යනාදියද එම ව්‍යාපෘති අතර වන බව වර්තා වෙයි.