සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට තමන්ගේ ගිණුමේ පවතින ශේෂය තමන්ටම පරීක්ෂා කරගැනීමේ පහසුකම සැලසීමත් සමග නාරාහේන්පිට පිහිටි කම්කරු මහලේකම් කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ඊ.පී.එෆ්. ශේෂය පරීක්ෂා කිරීමේ යන්ත්‍රයෙන් සිය ගිණුම් ශේෂය පරීක්ෂා කරගැනීම සඳහා මේ වනවිට විශාල පිරිසක් පැමිණෙන බව කම්කරු අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම නව යන්ත්‍රය ස්ථාපිත කිරීමත් සමග සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට ඔවුන්ගේ ගිණුම්වල පවත්නා ශේෂය ඕනෑම මොහොතක පරීක්ෂා කරගැනීමේ පහසුකම ලැබී ඇති අතර ඊට අමතරව සිය හාම්පුතුන් විසින් පසුගිය වසරවල තමන්ගේ ගිණුම්වලට බැරකළ යුතු දායක මුදල් බැරකර ඇද්ද නැද්ද යන්න ඕනෑම මොහොතක පරීක්ෂාකර දැනගැනීමේ අවස්ථාවද සැලසී තිබේ.
මේ වනවිට විද්‍යුත් ක්‍රමයට ලියාපදිංචි වී සිටින සියලු සාමාජික සාමාජිකාවන්ට දැන් මෙම පහසුකම ලබාගත හැකි බව කම්කරු අමාත්‍යාංශය සඳහන් කරයි. දැනට විද්‍යුත් ක්‍රමයට ලියාපදිංචි වී නොමැති අර්ථ සාධක අරමුදල් සාමාජික සාමාජිකාවන්ට සිය හාම්පුතුන් හරහා කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමෙන් මෙම පහසුකම අත්විඳිය හැකි බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
කම්කරු අමාත්‍ය එස්.බී.නාවින්න මහතාගේ උපදෙස් පරිදි ඉදිරි මාසයක කාලය තුළ ප්‍රධාන කාර්යාලයට අමතරව දිවයින පුරා පිහිටි කම්කරු කාර්යාල තිහක (30) මෙම නව යන්ත්‍රය ස්ථාපිත කිරීමට නියමිත බවද අමාත්‍යාංශය සඳහන් කරයි.