සැම්සුන්ග් ගැලැක්සි පවුලේ අලුත්ම සාමාජිකයා වන Galaxy A8 එළිදැක්වීම පසුගිය 25දා කොළඹදී උත්සවාකාරයෙන් පැවැත්විණි. ගැලැක්සි A මාදිලියේ මීට පෙර මාදිලීන්ගෙන් ඔබ්බට ගිය, සුවිශේෂී ක්‍රියාකාරීත්වය, මෝස්තරය සහ අති නවීන තාක්ෂණයත් සමගින් නවතම Galaxy A8 එළිදැක්වූ බව සැම්සුන්ග් සමාගම පවසයි.
විශේෂයෙන්ම එය සතු අගල් 5.7 ක Full HD Super AMOLED තිරය සහ පරිපූර්ණ 4GLTE ‘තාක්ෂණයද සමගින් Galaxy A මාදිලියේ දුරකතනවල, අලුත්ම අත්දැකීම පාරිභෝගිකයාට අත්විදීමේ අවස්ථාවද ලැබේ. එසේම මිලිමීටර් 5.9 ක් පමණ සිහින් වූ මෙම Galaxy A8 දුරකතනයේ පටු ඇල මුහුණත විශිෂ්ඨ හා සුපැහිදිලි බවකින් යුතු බව මෙම එළිදැක්වීමේදී සඳහන් විය. සුදු, කළු හා රන් පැහැයෙන් ලබාගත හැකි Galaxy A8 දුරකතනය රු.75,990/- කට මිල නියම කෙරී ඇත.
මෙම උත්සවයේදී අදහස් දක්වා සිටි ශ්‍රී ලංකාවේ සැම්සුන්ග් කළමනාකාර අධ්යක්ෂ යුන්ග්මින් ෂින් මහතා පවසා සිටියේ, "පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් නවීකරණය සඳහා නව ප්රමිතීන් හඳුන්වාදෙමින් මෙහෙයුම් පවත්වාගෙන යාම අපේ අරමුණයි. විශේෂයෙන්ම Galaxy A මාදිලියේ පවතින දුරකතන සඳහා වැඩි පාරිභෝගික ආකර්ෂණයක් දිනාගැනීමට හේතුව එහි මෝස්තරය සහ කැමරාව බව අප හඳුනාගෙන තිබෙනවා. ඒ නිසාම Galaxy A8 සමගින් සුපිරි ස්මාට්ෆෝන් දුරකතනයක අත්දැකීම ලබාගත හැකියි. ඒ සඳහා සුදුසු මටසිලුටු නිමාවකින් සහ අධිබල ක්රියාකාරීත්වයකින්ද, කැමරාව සතු වඩා වර්ධනය කළ රූප ග්‍රහණය කර ගැනීමේ හැකියාවකින්ද යුක්තයි" යනුවෙනි.
Galaxy A8 සතු ප්‍රධාන කැමරාව මෙගා පික්සෙල් 16ක අගයකි. ඉදිරිපස කැමරාව මෙගා පික්සෙල් 5කි. එසේම සුපැහැදිලි දසුන් හා Real time HDR පහසුකම සඳහා කැමරා දෙකම F.19 කාචවලින් සමන්විත බවත් සැම්සුන්ග් සමාගම පවසයි. එහිදී සැඳෑ මන්ඳාලෝක තත්ත්වයකදී වුවද පැහැදිලි ඡායාරූප ලබාගැනීමට එය අවස්ථාව සලසා දෙයි. මීට අමතරව නිවැරදිව සෙල්ෆි ඡායාරූප ලබාගැනීම පහසු කිරීම සඳහා Face Detection Alarm අංගයද අලුත්ම Galaxy A8 සතු බව ඔවුන් පවසයි.
මේ අතරම දුරකතනයේ ප්‍රොසෙසරය 1.8GHz Octa Core processor ලෙස පවතින අතර, 2GB RAM බලයකින් සහිත නිසා, එකවර පහසුවෙන් කාර්යයන් කිහිපයක් කිරීමේ හැකියාවද මෙම Galaxy A8 සතුය. විශේෂයෙන්ම මෙම Galaxy A මාදිලියේ දුරකතන සතුව තිබූ 32GBක මතක ධාරිතාව 128GB දක්වා මෙහිදී ඉහළ නංවා තිබේ. එසේම 3050mAh බලයකින් සමන්විත එහි බැටරියද වැඩි ආයු කාලයක් ලබාදෙමින් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවට අනුව නිපදවා ඇතැයිද සැම්සුන්ග් සමාගම පවසයි. ඒ අනුව, මේ සියලුම කාරණාත් සමගින් වඩාත් යෞවන සහ නවීන පෙනුමැති ආකර්ෂණීය ස්මාට්ෆෝන් නිර්මාණය කෙරෙහි අවදානය යොමු කර ඇතැයිද එම සමාගම වැඩිදුරටත් පවසයි.