නව කොටස් නිකුතුවකින් කොටස් අයදුම් කිරීමේදී
බොහෝ ආයෝජකයන්ට අලුතින් සමාගමක් ලැයිස්තුගත වීමේදී කොටස්වලට අයදුම් කරන ආකාරය සහ එහි මූලික පියවර මොනවාද යන්න තිබෙන වැටහීම අඩුය. එම මූලික පියවර අතර සංස්ථා ප්‍රකාශයක් නිවැරදිව කියවා තේරුම් ගැනීම ප්‍රධාන වේ. අප මෙම ලිපියෙන් ලබාදීමට අදහස් කරන්නේ ආයෝජකයෙකු අලුතින් සමාගමක් ලැයිස්තුගත වීමේදි නිකුත් කරනු ලබන සංස්ථා ප්‍රකාශයක අඩංගු කරුණු පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාදීමයි.
ආයෝජකයෙකුට කොටස් මිලදී ගත හැකි ආකාර දෙකකි
කොටස් වෙළෙඳ පොළක ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයෙකුට කොටස් මිලදීගත හැකි ආකාර දෙකක් තිබේ. එනම් ප්‍රාථමික වෙළෙඳ පොළ හා ද්විතීයීක වෙළෙඳ පොළ තුළින් කොටස් මිලදී ගැනීමයි. කිසියම් ආයෝජකයෙකුට/පුද්ගලයෙකුට කොළඹ කොටස් හුවමාරුවේ දැනට ලැයිස්තුගත සමාගම්වල කොටස් මිලදී ගැනීම ද්විතීයික වෙළෙඳ පොළ නමින් හඳුන්වයි. (කොළඹ කොටස් වෙළෙඳ පොළ) ඒ හරහා ඕනෑම අවස්ථාවක කොටස් මිලදී ගැනීම සහ විකිණීම සිදුකළ හැකිය.
සමාගමක් සංස්ථා ප්‍රකාශයක් අවස්ථා කිහිපයකදී නිකුත් කිරීමට ඉඩ ඇත
එමෙන්ම සමාගමක් කොළඹ කොටස් හුවාමැරවේ අලුතින් ලැයිස්තුගවීමේදී සිදුකරන මූලික මහජන නිකුතුවෙන් (Initial Public Offer - IPO) කොටස් මිලදී ගත හැකිය. මෙය ආකාර දෙකකින් සිදුවිය හැකිය. එනම් දායකත්ව අර්පණය (Offer for subscription) හා විකුණුම් අර්පණයක් (Offer for Sale) යනු ඒ ක්‍රම දෙකයි. සමාගමක් තම අනාගත අවශ්‍යතා සඳහා අරමුදල් රැස්කර ගැනීමේ අපේක්ෂාවෙන් මෙසේ අලුතින් කොටස් හුවමාරුවක තම කොටස් ලැයිස්තුගත වේ. එහිදී සමාගම නිකුත් කරන නව කොටස් සඳහා දායක වන ලෙස මහජයා වෙත ඉල්ලීමක් කරමින් සංස්ථා ප්‍රකාශය (Prospectus) නැමති නීත්‍යනුකූල ලියවිල්ල නිකුත් කරනු ලැබේ.
මීට අමතරව කොළඹ කොටස් හුවමාරුව තුළ සමාගමක් අලුතින් සාංගමික ණයකර ලැයිස්තු ගත කිරීමේදීද සංස්ථා ප්‍රකාශයක් නිකුත් කිරීම සිදුකරනු ලබයි.
සංස්ථා ප්‍රකාශයක් යන්නෙන් අදහස් වන්නේ
අලුතින් ලැයිස්තුගත වන සමාගම කොටස් නිකුතුව සම්බන්ධයෙන් සියලු විස්තර ඇතුළත් කොට අදාළ සමාගම විසින් නිකුත් කරන ලියවිල්ලයි. කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කරන්නෙකු මෙම සංස්ථා ප්‍රකාශය නිවැරදිව කියවා අවබෝධ කර ගැනීමට හැකිතරම් උත්සාහ කළ යුතු වේ. ඊට හේතුව එම සංස්ථා ප්‍රකාශය යනු අදාළ සමාගම පිළිබඳව පූර්ණ විස්තර ඇතුළත් වාර්තාවයි. කිසියම් සමාගම කොටස් ආයෝජනය කිරීමට පෙර එම සමාගම පිළිබඳව ආයෝජකයන්ට මනා දැනුම්වත් භාවයක් ලබාදීමේ අරමුණින් මෙම වාර්තාව (Prospectus) එළිදක්වනු ලබන අතර, එය නීතිමය ලියවිල්ලක්ද වේ. එවැනි සංස්ථා ප්‍රකාශයක සමාගමේ දැනට සිටින කොටස් හිමියන්, සමාගම දැනට කුමන ක්රියාකාකරකම්වල නිරත වන්නේද, නිෂ්පාදන හා සපයනු ලබන සේවා මොනවාද, කුමන ව්‍යාපාර කටයුතුවල නිරත වන්නේද, අනාගත ඉලක්ක මොනවාද සහ සමාගමේ පසුගිය කාල වකවානුවල ලාභාලාභ තත්ත්ව ඇතුළු වටිනා තොරතුරු රැසක් එහි අන්තර්ගත කරනු ලබයි.
සංස්ථා ප්‍රකාශයක් පහසුවෙන් ලබාගත හැකි ආකාරය
අතීතයේදී සංස්ථා ප්‍රකාශයක් ලබාගැනීමට පුද්ගලයෙකු අදාළ සමාගටම යායුතු වුවද අද වනවිට එය අන්තර්ජාලය හරහා පහුසවෙන් ලබාගැනීමට හෝ කියවා අවබෝධ කරගත හැකිය. එසේම ස්ථාන කිහිපයකින් එය ලබාගත හැකි අතර, එය ලබාගැනීමට එතරම් වෙභෙසක් හෝ වැඩි කාලයක් කැප කළ යුතු යුතු නොවේ. එය වර්තමානය වනවිට අදාළ සමාගමේ වෙබ් අඩවිය, කොටස් හුවමාරුවේ වෙබ් අඩවිය, කොටස් තැරැව්කාර සමාගම් ඇතුළු තවත් ආයතන කිහිපයක් හරහා මිලක් අය කිරීමකින් තොරව ලබාගැනීමට හෝ පරිශීලනය කළ හැකි වේ.
කොළඹ කොටස් හුවමාරුවේ වෙබ් අඩවිය තුළින් ලබාගත හැකි ආකාරය
ඕනෑම පුද්ගලයෙකුට කොටස් හුවමාරුවේ වෙබ් අඩවිය වන www.cse.lk වෙත පිවිස එහි ලැයිස්තුගත සමාගම් (Listed Entities) නැමති පිටුවට යා යුතු වේ. ඒ යටතේද අනු ශීර්ෂ කිහිපයක් දැකගත හැකි අතර, එහි ඇති ඉදිරියේදී ලැයිස්තුගත වීමට ඇති සමාගම් (Up Coming Listings) යන ශීර්ෂයට පිවිසීමෙන් අදාළ නව ලැයිස්තුගත වීමට බලාපොරොත්තු වන සමාගම් පිළිබඳ තොරතුරු පහසුවෙන් සොයාගත හැකි වේ.
සංස්ථා ප්‍රකාශයක් පරිශීලනය කිරීමකින් තොරව කොටස් මිලදී ගැනීම නැණවත් ආයෝජකයෙකුගේ ලක්ෂණයක් නොවේ
අනුන්, අසල් වැසියන්, හිතවතුන්, මිතුරන් හෝ කවුරුන් හෝ පැවසූ පමණින් කොටස් මිලදී ගැනීම එතරම් යහපත් නුවනැති ක්‍රියාවක් නොවේ. ඊට හේතුව එක් එක් පුද්ගලයාගේ ආයෝජන අරමුණ එකිනෙකට වෙනස් විය හැකි බැවිනි. ඒ නිසා තමන්ට යම් සමාගමක කොටස් මිලදී ගැනීමට අවශ්‍ය නම් එම සමාගම පිළිබඳව අප පෙර කී පරිදි යම් යම් අත්‍යවශ්‍ය කරුණු පිළිබඳවත් දළ අවබෝධයක් පැතිය යුතුය.
සමාගමක් කොටස් වෙළෙඳ පොළක ලැයිස්තුගතවීමක් සමග කොටස් වෙළෙඳ පොළ තුළ එකී සමාගමට ඇති ඉල්ලුම හා සැපයුම අනුව දෛනික මිලක් තීරණය වේ. එම මිල සමාගමට ඇති ඉල්ලුම අනුව වෙළෙඳ පොළ ගනුදෙනු දිනයක් තුළ ඉහළට පහළට ගමන් කිරීමේ ඉඩකඩ පවතී.
මේ නිසා විශේෂයෙන්ම අලුතින් ලැයිස්තුගත වන සමාගමක් නිකුත් කරනු ලබන සංස්ථා ප්‍රකාශය ආයෝජකයන්ට ඉතා වැදගත් මඟපෙන්වීමක් සිදුකරයි. ආයෝජනය කළ යුතුද නැත්ද තවදුරටත් කොටස් මිලදී ගත යුතුද ආදී ආයෝජන තීරණ ගැනීමට සංස්ථා ප්‍රකාශයක අන්තර්ගත කරුණු වැදගත් වේ.
සංස්ථා ප්‍රකාශය නොමිලේ ලබාදෙන ලියවිල්ලකි
සංස්ථා ප්‍රකාශයක් පරීශීලනය සඳහා මුදල් අයකිරීක් නොමැත. ඉහත අප සඳහන් කළ පාර්ශ්ව වෙතින් එය ඕනෑම පුද්ගලයෙකුට ලබාගත හැකි අතර, අද වනවිට ජනප්‍රිය සහ වඩාත් පහසු ක්‍රමය වන්නේ එය අදාළ සමාගමේ හෝ කොළඹ කොටස් හුවමාරුවේ වෙබ් අඩවියට පිවිස කියවා අවබෝධයක් ලබා ගැනීමයි.
සංස්ථා ප්‍රකාශයක අන්තර්ගත කරුණු
සංස්ථා ප්‍රකාශයක අන්තර්ගත කරුණු අතර මුලින්ම ආයෝජකයෙකුට ඉතා කෙටියෙන් කොටස් නිකුතව පිළිබඳව සංක්ෂිප්තයක්, එනම් කොටස් නිකුතුවක් සම්බන්ධ දළ විස්තරයක් ලබාදෙයි. එවැනි දළ විස්තරයක් පහත උදාහරණය මගින් පෙන්වා දිය හැකිය.
මීට අමතරව පහත සඳහන් මූලික විස්තර යටතේ සවිස්තරාත්මක කරුණු සංස්ථා ප්‍රකාශයක අන්තර්ගත කරනු ලබන අතර, ආයෝජකයෙකුට අදාළ කොටස් නිකුත් කරන සමාගම සම්බන්ධයෙන් පැහැදිළි හා විශ්වසනීයත්වයක් ලබාගත හැකි වන අයුරින්ද මෙම සංස්ථා ප්‍රකාශය ඉදිරිපත් කරනු ලබයි. පහතින් දක්වා ඇත්තේ එවැනි මූලික කරුණු කිහිපයකි.
සංස්ථා ප්‍රකාශයක අනිවාර්යයෙන් සඳහන් කරන කරුණු
-
කොටස් නිකුතුව සම්බන්ධ මූලික විස්තර
-
අතීත ව්‍යාපාර කටයුතුවල ස්වභාවය
-
කළමනාකරීත්වය
-
කොටස් නිකුත් කරන මිල
-
කොටස් නිකුතුව ආරම්භ කරන සහ අවසන් කරන දින වකවානු
-
කොටස් ප්‍රාරක්ෂණය පිළිබඳ විස්තර
-
අවදානම
-
අනෙකුත් කරුණු
සංස්ථා ප්‍රකාශයක අන්තර්ගත මෙම දළ සටහනේ කරුණු පිළිබඳව සවිස්තර තොරතුරු මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.