චීනයේ, නැන්නින්ග් නුවර අද වාර්තාකරු
චීනය සහ ආසියාන් කලාපයේ සාමාජික රටවල් අතර ද්විපාර්ශ්වික එකඟතා වර්ධනය කිරීම වෙනුවෙන් වූ 13 වැනි චීන - ආසියාන් අපනයන ප්‍රදර්ශනය (CAEXPO) සහ චීන - ආසියාන් ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව (CABIS) ඊයේ (11දා) චීනයේ ග්වන්සි ප්‍රාන්තයේ, නැන්නින්ග් හිදී ආරම්භ විය.
චීන උප අගමැති සන්ග් ගඔලී මහතාගේ ප්‍රධානත්වයෙන් වියට්නාමය, ලාඕසය, කාම්බෝජය යන රටවල අග්‍රාමාත්‍යවරුන්ගේ සහ ආසියාන් කලාපයේ රටවල ඉහළ රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම සුවිශේෂී සමාරම්භක උත්සවය පැවැත්විණි.
වත්මන් ඊ වාණිජ ක්ෂේත්රයේ ජාත්‍යන්තර සන්නාමයක් වන Alibaba.com (අලිබබා ගෘෘප්) හි සභාපති ජැක් මා මෙවර සමුළුවට සහභාගී වීම කාගේත් අවධානය දිනාගත් අවස්ථාවක් වූ අතර, ඔහු විසින් සමාරම්භක උලෙළේදී සුවිශේෂී දේශනයක්ද සිදුකරන්නට විය.
මෙවර විශේෂ ආරාධිත රට ලෙස CAEXPO ප්‍රදර්ශනයට එක්වන ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමාරම්භක උත්සවයට සහභාගී වූ අතර, 21 වැනි සියවසේ මුහුදු සේද මාවතේ සුවිශේෂී රටක් ලෙස ශ්‍රී ලංකාව මෙම ප්‍රදර්ශනයට එක්වීම සම්බන්ධයෙන් චීන උප අගමැතිවරයා සිය දේශනයේදී සතුට පළ කළේය.
මෙහිදී සමුළුව ඇමතූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙවැනි වෙළෙඳ ප්‍රදර්ශනයකට සුවිශේෂී ආරාධිත රට ලෙස ශ්‍රී ලංකාවට ඇරයුම් කිරීම පිළිබඳව චීන - ආසියාන් අපනයන ප්‍රදර්ශන (CAEXPO) මහ ලේකම් කාර්යාලයටත්, චීන රජයටත් සිය කෘතඥතාව පළ කළ අතර, මෙය ශ්‍රී ලංකාව ලැබූ සුවිශේෂී අවස්ථාවක් ලෙසද සඳහන් කළේය.
එසේම, චීන ආයෝජකයන්ට මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය වාතාවරණය රට තුළ සැකසී ඇති බව සිහිපත් කළ අමාත්‍යවරයා, ඒ සඳහා මෙම සමුළුව උපයෝගී කරගන්නා ලෙසත් චීන ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් දක්ෂ, නිර්මාණශීලී හා කාර්යක්ෂම පිරිසක් බවත්, දේශපාලන වශයෙන් වඩාත් ස්ථාවර යහපාලනයක් මේ වනවිට රට තුළ නිර්මාණය වී ඇති බැවින් මෙය චීන ආයෝජකයන්ට වඩාත් හිතකර පරිසරයක් වනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.එමෙන්ම, ශ්‍රී ලංකාවේ වරාය පද්ධතිය සක්‍රීය බවත්, දකුණු ආසියාවේ හොඳම වරාය ශ්‍රී ලංකාව සතු අතර, මේ හරහා චීන ආයෝජකයන්ට විශාල වාසි අත්කර ගත හැකි බවත් අමාත්‍යවරයා සමුළුව අමතා පවසා සිටියේය.
චීනය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාවට මේ වනවිට වසර 60කට ආසන්න කාලයක් ගත වී ඇති බව සිහිපත් කළ බදියුදීන් මහතා, 21 වැනි සියවසේ මුහුදු සේද මාවතේ සැලැස්මේ සුවිශේෂී සංධිස්ථානයක් වන ශ්‍රී ලංකාව හා ඇති ඉපැරණි සම්බන්ධතා නව මානයකට ගෙන යාමට කාලය පැමිණ ඇති බවත් සිහිපත් කළේය.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරය කරන චීන සංචාරකයන්ගේ සංඛ්‍යාව පසුගිය වසර කිහිපය තුළ ක්‍රමයෙන් වර්ධනය වී ඇති නිසා ඉදිරියේදීත් ශ්‍රී ලංකාව වෙත වැඩි චීන සංචාරකයන් පිරිසකට පැමිණෙන ලෙස අමාත්‍යවරයා සමුළුව අමතමින් විවෘත ආරාධනයක්ද සිදුකළේය.
මීට අමරතරව, ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව හා චීනය සමග නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීම නිසා, චීන හා ආසියාන් නිෂ්පාදකයන්ට සිය භාණ්ඩ ඉන්දියානු හා පාකිස්තාන වෙළෙඳ පොළ වෙත යැවීමට හැකියාව උදාවී ඇති බවත්, එය එම රටවල් සමග සෘජු වෙළෙඳ ගනුදෙනුවකට වඩා වාසිදායක බවත් මෙහිදී බදියුදීන් මහතා පවසා සිටියේය.
එමෙන්ම, මෙම වෙළෙඳ ප්‍රදර්ශනයට සහභාගී වීමෙන් ශ්‍රී ලාංකේය ආයෝජකයන්ටද චීන වෙළෙඳ පොළ පමණක් නොව ආසියාන් කලාපයේ සියලු රටවල වෙළෙඳ පොළවල් වෙත තම නිෂ්පාදන අලෙවි කිරීමේ අවස්ථාව ලැබී ඇති බවද සමුළුව අමතමින් අමාත්‍යවරයා සිහිපත් කළේය.
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ ආශිර්වාදය ඇතිව තමන් මෙම සමුළුවට සහභාගී වූ බවත්, ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා චීන ආයෝජකයන්ට පැමිණෙන ලෙස තමන් අවසන් වශයෙන් ආරාධනා කර සිටින බවත් මෙහිදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
13 වැනි CAEXPO ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කලාපය වර්ග මීටර 105ක් වන අතර ප්‍රදර්ශන කුටි 40කින් එය සමන්විත වෙයි. මැණික් හා ස්වර්ණාභරණ, සංචාරක, අත්කම් හා ආහාර නිෂ්පාදන ප්‍රධාන ප්‍රවර්ධන අංශ ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කලාපයේදී දැකගත හැකිය. එහිදී, ඒ සෑම ප්‍රදර්ශන කුටියක් වෙතම ගොස් ඔවුන් සමග කතාබහ කිරීමට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කටයුතු කළ අතර, ඔහු ඉතා උනන්දුවෙන් එම පිරිස් දිරිගන්වන අයුරු දැකගත හැකි විය. සමස්තයක් ලෙස මෙවර ප්‍රදර්ශනය කුටි 5,800කින් සමන්විත අතර වර්ග මීටර 129,500ක පමණ කලාපයක් ප්‍රදර්ශන කුටි සඳහා වෙන්කර තිබීමද කැපී පෙනෙයි.
අද (12දා) සිට මෙම ප්‍රදර්ශනය ආයෝජකයන්ට හා විදේශයන් හි සිට පැමිණෙන ගැනුම්කරුවන් සඳහා විවෘත වන අතර, මෙම දින දෙක තුළදී ශ්‍රී ලංකාවෙන්ද විශාල පිරිසක් ඒ වෙත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙයි. එමෙන්ම, 13 වැනි චීන - ආසියාන් අපනයන ප්‍රදර්ශනය (CAEXPO) සහ චීන - ආසියාන් ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව (CABIS) අතරතුර ශ්‍රී ලංකාවට සුවිශේෂී පිළිගැනීමක් ලබාදීමට චීන රජය හා CAEXPO මහ ලේකම් කාර්යාලය කටයුතු කළ බවද සඳහන් කර තිබුණි. ලොව පුරා රටවල් 18 ක මාධ්‍ය ආයතන 255ක් නියෝජනය කරමින් ජනමාධ්‍යවේදින් 1,434 ක් මෙවර ප්‍රදර්ශනය ආවරණය කරමින් සිටියි.