ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2016 වසර සඳහා ඉන්දියානු සාගර කලාපය වෙත මෙහෙයුම් සිදුකරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස මාලදිවයිනේදී පැවැත්වූ ලෝක සංචාරක සම්මාන උලෙළේදී පසුගියදා පිදුම් ලැබා තිබේ.
මෙම සම්මානය සඳහා ලොව ප්‍රමුඛතම ගුවන් සේවා රැසක් නිර්දේශ වී තිබුණු බවත්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙත මෙම සම්මානය හිමිවීම ජාතික ගුවන් සේවය ලද සුවිශේෂී ජයග්රහනයක් ලෙස සනිටුහන් වන බවත් ඔවුහු පවසති.
මෙම සම්මාන උලෙළ මාලදිවයිනේ සන් සියෑම් ඉරු ෆුෂි රිසෝට් හිදී උත්කර්ෂවත් අයුරින් පැවති බවත්, ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා එක්ව ගෝලීය ගුවන් සංචාරක දැවැන්තයන් වන වන එටිහාඩ් එයාර්වේස් (ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සේවය) සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ (ලොව ප්‍රමුඛතම ගුවන් තොටුපළ) ඇමරිකන් එක්ස්ප්‍රස් (ලොව ප්‍රමුඛතම ව්‍යාපාර සංචාරක ඒජන්සිය) සහ රෝයල් කැරිබියන් (ලොව ප්‍රමුඛතම යාත්‍රා වෙළඳ නාමය) සම්මානයෙන් පිදුම් ලැබූ බවද ඔවුහු පවසති.
එමෙන්ම, ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙත මෙම සම්මානය හිමිවී ඇත්තේ ඉන්දියානු සාගරයේ ගමනාන්ත 11 දක්වා සිය මෙහෙයුම් ව්‍යාප්ත කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් බවත්, ගුවන් සමාගම මේ වසරේදීත් සිංගප්පූරුවේදී පැවැත්වූ 2016 Future Travel Experience Asia සම්මාන උලෙළේදී මධ්‍යම සහ දකුණු ආසියානු කලාපයේ විශිෂ්ටතම සමස්ත සේවා සපයන ගුවන් සේවය බවට සම්මානයෙන් පිදුම් ලැබූ බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.