2016 අයවැය යෝජනා මගින් මෙතෙක් තනි අනුපාතික අගයෙන් යුතුව පැවති වැට් බද්ද කාණ්ඩ තුනකට වෙන්කිරීමෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩුවන අතර එමගින් ජලය, විදුලිය හා විදුලි සංදේශ ක්ෂේත්රවල කිසිදු ගාස්තු වැඩිවීමක් සිදුනොවන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙතෙක් 11% ක්ව ලෙස තනි අගයකින් පැවති වැට් බද්ද අයවැය යෝජනා මගින් කාණ්ඩ 3ක් යටතේ වර්ගීකරණය කිරීමෙන් වක්‍රාකාරයෙන් ජලය, විදුලිය හා විදුලි සංදේශ ක්ෂේත්රවල ගාස්තු වැඩිවීමක් පිළිබඳව විවිධ අදහස් පළ වී තිබුණි.
මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ මෙතෙක් 11% ක් ලෙස තනි අගයකින් පැවති වැට් බද්ද අයවැය මගින් 0%, 12.5% සහ 8% වශයෙන් වර්ගීකරණය කර ඇති අතර තොග සහ සිල්ලර වෙළෙඳාම මුළුමනින්ම වැට් බද්දෙන් නිදහස් කර ඇති බවයි.
ඒ අනුව, මෙතෙක් 11% ක වැට් ගෙවීමට යටත්ව තිබූ තොග සහ සිල්ලර වෙළෙඳාම වැට්වලින් ඉවත් කිරීමෙන් අයවැය මගින් මිල අඩුකරන ලද අත්‍යවශ්‍ය භාණ්ඩවලට අමතරව අන් සියලු භාණ්ඩවල මිලෙහි විකුණුම් මිල විවෘත වෙළෙඳ පොළේ අඩුවිය යුතු බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
තවද රාජ්‍ය මැදිහත්වීම් මත පවත්වාගෙන යනු ලබන අත්‍යවශ්‍ය සේවාවන් වන ජල සැපයුම හා විදුලිය සැපයුමට අමතරව විදුලි සංදේශ සේවාවන්ද වැට්වලින් නිදහස් කර ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා තිබේ. එබැවින් එම සේවා සැපයීම් සඳහා පාරිභොගිකයන්ගෙන් කිසිදු වැට් අය කිරීමක් සිදු නොවන බැවින් එම සේවා ගාස්තුවල කිසිදු වැඩිවීමක් සිදුනොවන බව මුදල් අමාත්‍යංශය අවධාරණය කරයි.
ආනයනික භාණ්ඩ හා දේශීයව නිෂ්පාදනය කරන භාණ්ඩවලට මෙතෙක් අය කරන ලද 11% වැට් බද්ද අය වැය මගින් 8% දක්වා අඩු කර ඇති බැවින් සියලු ආනයනික භාන්ඩවල මිලද ඉදිරියේදී අඩුවනු ඇතිබවත් මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
එබැවින් මෙවර අයවැය මගින් වැට් බදු සංශෝධනය හේතුකොටගෙන ජලය, විදුලිය හා විදුලි සංදේශ සේවා සැපයුම් වෙනුවෙන් පාරිභෝගික ජනතාවගෙන් අය කරනු ලබන ගාස්තුවල වැඩිවීමක් සිදුවනු ඇතැයි ඇතමුන් කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.
මේ අතර, ඊයේ (25දා) විහාරස්ථාන සංවර්ධන වැඩසටහනක එක්වූ අවස්ථාවේදී මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පෙන්වාදී තිබුණේ, 2016 අයවැය යෝජනා හේතුවෙන් ජල, විදුලි සහ දුරකතන බිල්පත් ඉහළ යා හැකි බවට පැතිර යන කටකතා පදනම් විරහිත බවයි. වත්මන් ආණ්ඩුව කිසිසේත්ම ජනතාව මත අනවශ්‍ය බරක් පැටවීමට පියවර නොගන්නා බවද අමාත්‍යවරයා පවසා සිටියේය. එමෙන්ම, විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ගෙන එන්නේ යැයි කියන විශ්වාසභංග යෝජනාව තමාට අභියෝගයක් නොවන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.
“අවුරුදු 11ක කාලයක් ජනතාවට අහිමි වී තිබූ වරප්‍රසාද රැසක් මෙවර අයවැය මගින් ජනතාව අතට පත් කළා. රාජ්‍ය මුදල් තමන්ගේ සාක්කුවට දමා ගනිමින් සිටි පිරිසක් තමයි මේ විශ්වාසභංගය ගෙන එන බව කියන්නෙ. ඒ අයට තවදුරටත් මුදල් අවභාවිත කරන්න අවස්ථාවක් නොලැබුණු නිසා තමයි මේ විශ්වාසභංග යෝජනාව ගෙන එන්නේ. ඒක මම කිසිසේත්ම අභියෝගයක් විදියට ගණන් ගන්නෙ නෑ. පිරිසකට අයවැය රහ නෑලු, තවත් පිරිසක් විශ්වාසභංග යෝජනාවක් ගේනවලු. අයවැය ඉදිරිපත් කළ දිනට පසු දිනයේ සිටම මොනවද ලැබුණු සහන කියා ජනතාවට දැනී තියෙනවා. රටේ ආයෝජනය වැඩි කර තියෙනවා. සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පණගන්වා තියෙනවා.” යැයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.