වරාය අධිකාරියේ සේවකයන් සහ පාලනාධිකාරිය අතර මේ වනවිට උද්ගතව ඇති අර්බුදයට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ වරාය වෘත්තීය සමිති නියෝජිතයන් සමග පසුගියදා පැවැති රැස්වීමක් අමතමිනි.
වරාය අධිකාරියේ පාලනාධිකාරිය සහ වෘත්තීය සමිති වෙන් වෙන් වශයෙන් කම්කරු අමාත්‍යාංශයට කැඳවා කරුණු විමසූ අමාත්‍යවරයා ඉතාම කඩිනමින් ඉදිරි දිනකදී දෙපාර්ශවයම එකට කැඳවා මේ වන විට බිඳවැටී ඇති කාර්මික සාමය යලි ස්ථාපිත කොට වරාය අධිකාරියේ වැඩ කටයුතු යථා තත්ත්වයට පත්කිරීමට කම්කරු අමාත්‍යාංශයට ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව පැවසීය.
වරාය අධිකාරියේ සභාපතිවරයා සහ විෂය බාර අමාත්‍යවරයා ඉවත්කළ යුතුය යන්න මෙම රැස්වීමේදී වෘත්තීය සමිති නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධානතම ඉල්ලීම විය. ඒ සම්බන්ධයෙන් අදහස් පළකළ අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා කියා සිටියේ විෂය බාර අමාත්‍යවරයා සහ සභාපතිවරයා ඉවත් කිරීම දේශපාලනික කාරණයක් වන බැවින් ඒ සම්බන්ධයෙන් වන තීරණය ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් ගතයුතුව ඇති බවයි. වෘත්තීය අයිතිවාසිකම් උල්ලංගණය වීම් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම සඳහා විෂය බාර අමාත්‍යවරයා ලෙස තමන්ට මැදිහත්වී කටයුතු කළ හැකි බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙරට ආර්ථිකයේ මර්මස්ථානයක් වන කොළඹ වරායේ කාර්මික සාමය පවත්වාගෙන යාමට සියළු දෙනාගේ සහය අත්‍යාවශ්‍ය බවයි.