කොළඹ කොටස් වෙළෙඳ පොළේ වර්තමානයේ ඇති වී ඇති පහළ වැටීම පිළිබඳව ආයෝජකයන් මෙන්ම රටේ ජනතාවද මේ දිනවල කතාබහ කරමින් සිටියි. බොහෝ ආයෝජකයන් සිතන්නේ මේ ඇතිවී තිබෙන පහළ වැටීම කොළඹ කොටස් වෙළෙඳ පොළට පමණක් සීමා වී ඇති බවය. එනමුදු, ජනවාරි 18 වැනිදා වනවිට ලෝකයේ ප්‍රධානතම කොටස් වෙළෙඳ පොළවල් බොහෝමයක් විශාල පහළ වැටීමක් පෙන්නුම් කර ඇති බව සංඛ්‍යාලේඛන ගෙනහැර දක්වයි.
මේ වසර තුළ දැනට සමස්ත ලෝකයේම සියලු කොටස් වෙළෙඳ පොළවල් 9.2% ක් පහළ වැටී ඇති අතර, ශ්‍රී ලංකාවද අයත් වන නැගී එමින් පවතින කොටස් වෙළෙඳ පොළවල්වල පහළ වැටීම 11.4% කි. එහෙත්, මේ වනවිට කොළඹ කොටස් වෙළෙඳ පොළේ පහළ වැටීම 8.9% ක් බවට පත්වී ඇත. එමෙන්ම, ටෝකියෝකොටස් වෙළෙඳ පොළ 8.3% ක්ද, නිව්යෝක් කොටස් වෙළෙඳ පොළ 8.2% ක්ද, ලන්ඩන් කොටස් වෙළෙඳ පොළ 9.6% ක්ද පහළ වැටී ඇත. නැගී එමින් පවතින කොටස් වෙළෙඳ පොළ අතරින් ආසියානු කලාපයේ කොටස් වෙළෙඳ පොළවල් 10.5% ක් පහළ වැටී ඇති අතර, ලතින් ඇමෙරිකානු කොටස් වෙළෙඳ පොළවල් 12.1% ක් පහළ වැටී ඇත.
චීනයේ කොටස් වෙළෙඳ පොළ 14.7% ක පහළ වැටීමක් වාර්තා කර ඇත. මේ වසර තුළ දැනට දෙවතාවක් චීනයේ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අත්හිටවූ අතර, එයට හේතු වූයේ කොටස් වෙළෙඳ පොළේ ඇති වූ කඩා වැටීමය.
යුරෝපයේ කොටස් වෙළෙඳ පොළ සැලකිය යුතු පහළ වැටීමක් පෙන්නුම් කර ඇති අතර, ස්වීඩන් කොටස් වෙළෙඳ පොළ 9.2% ක්ද, ප්‍රංශ කොටස් වෙළෙඳ පොළ 7.3% ක්ද, ජර්මනියේ කොටස් වෙළෙඳ පොළ 9.6% ක්ද මේ වනවිට පහළ වැටී ඇත. එමෙන්ම, අප අසල්වැසි ඉන්දියාවේ කොටස් වෙළෙඳ පොළේ පහළ වැටීම මේ වනවිට 8.2% කි.
ලෝකයේ කොටස් වෙළෙඳ පොළවල මෙම පහළ වැටීම සඳහා බලපා ඇති කරුණු වශයෙන් වාර්තා වී ඇත්තේ චීන ආර්ථිකයේ ඇති වී තිබෙන අවපාතය, ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් පහළ වැටීම, බොහෝ රටවල මුදලට සාපෙක්ෂව ඇමෙරිකානු ඩොලරය ඉහළ නැගීම සහ සමහර රටවල පොලී අනුපාත ඉහළ නැගීම යන කාරණාය.