ශ්‍රී ලංකාව තුළ ආර්ථික සංවර්ධනයේ සැබෑ වෙනසක් සිදුකිරීම සඳහා ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි විරහිතව සහාය ලබාදෙන බව ප්‍රකාශ කළේ යැයි මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා පවසා සිටියේ, පේරු රාජ්‍යයේ ලීමා අගනුවර පැවැත්වූ ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවේදී එම ආයතන ප්‍රධානීන් මෙසේ ප්‍රකශ කළ බවය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුව සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්රමුඛ නියෝජිත පිරිසක් සහභාගි වූ අතර, ඊයේ (11දා) සමුළුව අවසන් විය.
ප්‍රධාන සමුළුවට අමතරව මූලික වටයේ සාකච්ඡා ගණනාවකට මුදල් අමාත්‍යවරයා සහභාගි වූ බව එම අමාත්‍යාංශය කියයි. ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (මෙහෙයුම්) කයිලේ පීටර්ස් මහතා සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති ඇනෙට් ඩික්සන් මහත්මිය අතර මූලික වටයේ සාකච්ඡා පවත්වා ඇති අතර, එහිදී ශ්‍රී ලංකාවේ සංවර්ධන සැලසුම් පිළිබඳ පුළුවල්ව අවධානය යොමු කර තිබේ.
එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමගද මුදල් අමාත්‍යවරයා ඇතුළු පිරිස සාකච්ඡා පවත්වා ඇති අතර, ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා තාක්ෂණික වශයෙන් පූර්ණ සහාය ලබාදෙන බව එහිදී ඔවුන් පවසා සිටියේ යැයිද අමාත්‍යාංශය පවසයි.