යහපාලන රජය යටතේ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට අනුව ඉදිරි මාස හයක කාලය තුළ රැකියා අවස්ථා ලක්ෂ 5ක් පමණ ඇති වන බවත්, ඒ සඳහා තරුණ පරපුර සූදානම් විය යුතු බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීම සිදුකළේ පසුගිය 22දා මට්ටක්කුලිය විස්ට්වයික් උද්‍යානයේ නව පිහිනුම් තටාකය සඳහා මුල් ගල තැබීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.
එහිදී, රවි කරුණානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ වත්මන් තරුණ පරපුර රජයේ රැකියා කෙරෙහි වැඩි උනන්දුවක් දක්වමින් සිටීම රැකියා ලබාදීමේදී ගැටලුවක් බවට පත් වන බවයි. එහිදී, තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අපේ තරුණයෙක් හෝ තරුණියක් රැකියාවක් ලබාගැනීමේදී ප්‍රමුඛත්වය දක්වන්නේ රජයේ රැකියාවලටයි. නමුත් රජයට වඩා තුන් ගුණයක විතර වැටුපක් පෞද්ගලික අංශය ගෙවනවා. ඒ වගේම තමයි, වැඩත් තුන් ගුණයක් විතර කරන්න ඕනෑ. අද මේ යන ව්‍යාපෘති සමග තව මාස හය හතකින් රැකියා අවස්ථා ලක්ෂ 5ක් විතර ඇති වෙනවා. අද විදේශ ආයෝජකයෙක් ඇවිත් රැකියා 1,000ක් දෙන්න පුළුවන් කිව්වාම, ඊට සුදුසුකම් ඇති අය එන්නේ 100ක් විතරයි. මේ තත්ත්වය වෙනස් විය යුතුයි. තරුණ පරපුර තමන් අතේ තියෙන ජංගම දුරකතනයෙන් ඕපදූප හොයනවට වඩා, ඒවා ව්‍යාප්ත කරනවාට වඩා රට වෙනුවෙන් මීට වඩා වැඩකළ යුතුයි.
මීට දශක දෙකකට විතර කලින් ඉන්දියාවෙ තිබුණු තත්ත්වය නරසිංහ රාඕ අග්‍රාමාත්‍යවරයා වෙනස් කළා. අද ඉන්දියාවට, අමෙරිකාවෙන් යුරෝපයෙන් වැඩිම ආදායම් ලැබෙන්නේ තොරතුරු තාක්ෂණය හරහායි. මෙන්න මේ තත්ත්වය තමයි, අපි ඇති කළ යුත්තේ.” යනුවෙන් පවසා සිටියේය.