ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවිය අන්තර් ජාලය වෙත මුදාහැරීම මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී ඊයේ (01දා) සිදුකෙරිණි.
මෙතෙක් පැවැති වෙබ් අඩවිය වෙනුවට වඩාත් පහසුවෙන් තොරතුරු ලබාගත හැකි මෙම වෙබ් අඩවිය රේගු දෙපාර්තමේන්තුව මගින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
රේගු දෙපාර්තමේන්තුවේ නව ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අදහස් දක්වමින්, “2017 අයවැය තුළින් ඉදිරිපත් කළ යෝජනා මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක තලයේ පවතිනවා. ඒ අනුව, රේගුව කලින් පැවැති තත්ත්වයට වඩා ඉතාම වේගවත් සාර්ථක ගමනක් යමින් තියෙනවා. ඒ ගැන අපි සතුටු විය යුතුයි. නමුත් අපි තව වේගවත් විය යුතුයි. අද මේ ජාල ගත කරපු වෙබ් අඩවිය මගින් තවදුරටත් රේගුව ජනතාවට සමීප වීම සිදුවෙනවා. ඒ වගේම, විනිවිධභාවය ඇති වෙනවා. රේගුවේ කටයුතු 100%ක් හෙළිදරව් වීම සිදුවිය යුතු දෙයක්. අපි විනිවිධභාවය ගැන කතා කරනවා විතරක් නෙවෙයි, ඒවා ක්‍රියාත්මක කරනවා. රේගු කටයුතු පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා රේගු නිලධාරීන්ට විදේශ ගතවීමට අවස්ථාව ලබාදී තිබෙනවා.
ඒ අනුව, තවදුරටත් එවැනි අවස්ථා මේ තරුණ නිලධාරීන්ට අවශ්‍ය නම් ඒවට අවශ්‍ය පහසුකම් සැලසීමට අපි සූදානම් කියන කරුණත් මෙහිදී මතක් කරන්න අවශ්‍යයි. මේ වගේ දේවල්වලට ඇමැතිවරුන් සහභාගී වෙන්න අවශ්‍ය නැහැ. ඒ කටයුතු පවා විනිවිධභාවයෙන් කිරීම මා සතු කාර්යභාරයක්.” යැයි පවසා සිටියේය.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතාද එහිදී අදහස් පළ කරමින් කිය සිටියේ, “මේ නව වෙබ් අඩවියේ විශේෂතා කිහිපයක් තියෙනවා. එකක් තමයි රාජ්‍ය ආයතනයක් විදියට අපේම නිලධාරීන් තමයි, මේ වෙබ් අඩවිය නිර්මාණය කළේ. අනිත් කාරණාව, මෙය පරිහරණය කිරීමේ පහසුව. ඒ වගේම තමයි, මේ වෙබ් අඩවිය නිරන්තරයෙන්ම යාවත්කාලීන වෙනවා. ඒ සඳහා රේගු දෙපාර්තමේන්තුව මෙහි කටයුතු වෙනුවෙන් කමිටුවක් පවා පත් කරල තියෙනවා.
නුදුරේදීම අපි නව මානව සම්බන්ධතා ඒකකයක් පිහිටුවනවා. අපේ ගනුදෙනුකරුවන්ට ඉතාම පහසුවෙන් තමන්ගේ බහලු තොරුතුරු, දවසේ ඕනෑම අවස්ථාව දැනගැනීමේ හැකියාව ඉන් ලැබෙනවා.” යැයි පවසා සිටියේය.