යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ සංකල්පයකට අනුව නුවරඑළිය වසන්ත උදාන සැණකෙළියට සමගාමීව සූපවේදී ආහාර ප්‍රදර්ශනයක් හා වෙළෙඳ සැණකෙළියක් එළැඹෙන අප්‍රේල් 15 සිට 22 දක්වා නුවරඑළිය ග්‍රෙගරි වැය අසලදී පැවැත්වීමට දියතලාව මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය සූදානම්ව සිටන බව ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය පවසයි.
එළැඹෙන සෑම වසරකම මෙම ප්‍රදර්ශය හා සැණකෙළිය පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති බවත්, යුද හමුදාවේ සියලුම රෙජිමේන්තුවලට අයත් බලඇණි ස්ථානගතව සිටින ප්‍රදේශවලට ආවේණික වූ ආහාර වර්ගයන් පමණක් මෙම සූපවේදී ප්‍රදර්ශනය හා වෙළෙඳ සැණකෙළියට ඇතුළත් කර මහජනතාවට ඉදිරිපත් කිරීමට යුද හමුදාව කටයුතු කර ඇති බවත් පෙන්වා දෙයි.
මෙවැනි ප්‍රදර්ශනයක් පැවැත්වීමේ ප්‍රධාන අරමුණ දිවයිනේ විවිධ ජනකොටස්වලට ආවේණික වූ ආහාර වර්ගයන් මහජනතාවට හඳුන්වාදීම බව යුද හමුදා මූලස්ථානනය පවසයි. ඒ තුළින් දේශීය ආහාර වර්ගයන් නැවත සමාජයට හඳුන්වාදීම, යුද්ධ හමුදාවේ සූපවේදී හැකියාවන් මහජනතාවට පෙන්නුම් කිරීම, සාම්ප්‍රදායික ආහාර වර්ගයන්ගේ පෝෂණය හා ගුණාත්මක බව පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීම, පෝෂණවේදීන් සමග සූපවේදීන්ව ප්‍රදර්ශනයට සහභාගි කරවමින් දැනුම යාවත්කාලීන කිරීම හා සිවිල් සමාජයෙන් ගිලිහී යන දේශීය ආහාර වර්ගයන් පරිහරණය කිරීම පිළිබඳව සමාජය තුළ කතිකාවතක් ඇති කිරීම බලාපොරොත්තු වෙයි.