ශ්‍රී ලංකාවේ මෙන්ම ආසියාවට අමතරව අප්‍රිකාව වැනි මහාද්වීප පුරාත්, බලශක්ති ක්ෂේත්රයේ ඉහළ පළපුරුද්දක් සහිත LTL වැනි කලාපීය විශිෂ්ටයෙකුගේ සහකරු ලෙස කටයුතු කරන්නට ලැබීම ගැන සනිමා බැංකුව අතිශයින්ම සතුටු වන බව නේපාලයේ ප්‍රමුඛතම බැංකුවක් වන සනීමා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී භුවන් කුමාර් දහල් මහතා පවසයි.
හෙතෙම මෙසේ අදහස් දක්වා සිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉංජිනේරු සමාගම් ජාලය වන LTL හෝල්ඩිංස් සමූහය විසින්, නේපාලයේ මෙගාවොට් 10ක ජලවිදුලි බල ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව, ව්‍යාපෘතිය සඳහා මුදල් ප්‍රතිපාදන සැපයෙන මූල්‍ය ආයතන සමග පසුගිය 25දා ණය ගිවිසුම් අත්සන් කරනු ලැබූ අවස්ථාවේදීය.
ප්රශස්ත මට්ටමේ ණය සහ ප්‍රාග්ධන සංයුතියකින් යුක්තව මෙම ව්‍යාපෘතියට මුදල් ප්‍රතිපාදන ලබාදීම සඳහා නේපාලයේ ප්‍රමුඛතම බැංකුවක් වන සනිමා බැංකුව විසින් එරට දේශීය මුදලින් ආසන්න වශයෙන් ඇ.ඩො.මිලියන 15ක පමණ මූල්‍ය ප්‍රතිපාදන පිරිනමනු ලැබ තිබේ. සෙන්චරි බැංකුව සහ නැෂනල් ක්‍රෙඩිට් ඇන්ඩ් කොමර්ස් බෑන්ක් මේ සඳහා එක්වන සෙසු මූල්‍ය ආයතන වේ. මෙම ගනුදෙනුව ව්‍යාපෘති මූල්‍යකරණ පදනම මත සකසා තිබීම මගින් පෙනී යන්නේ LTL වැනි පිළිගත් සහ මනාව ස්ථාපිත ජාත්‍යන්තර බල සැපයුම් දැවැන්තයකු කෙරෙහි ජාත්‍යන්තර බැංකුකරණ ප්‍රජාව තබා ඇති ඉහළ විශ්වාසය බව ඔවුහු පවසති. මෙම ගනුදෙනුවේදී ඇක්සීඩ් කැපිටල් ඔෆ් ශ්‍රී ලංකා සමාගමේ සහාය LTL වෙත ලැබුණු බවත්, LTL සමග එක්ව LVL එනර්ජි ෆන්ඩ් පී.එල්.සී. සමාගම මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජන කටයුතු සිදුකරනු ලබන බවත් ඔවුහු පවසති.
එහිදී, LTL සමාගම විසින් මෙම නවතම ජලවිදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ බටහිර නේපාලයේ දර්චුලා දිස්ත්රික්කයේය. එය මකාරි ගංගාවේ ජලයෙන් ක්‍රියාත්මක කෙරෙන අතර අවට ඇති හිමෙන් වැසීගත් නේපාල කඳුවලින් මෙම ගංගාවට වසර පුරාම ජලය සැපයෙන බැවින් බලාගාරයයේ ඉහළ ජනන හැකියාවක් පවත්වාගත හැකියාව පවතින බවත්, LTL හි උප සභාපති (පුනර්ජනනීය බලශක්ති) සමීර ගනේගොඩ මහතා පවසන පරිදි මෙම ව්‍යාපෘතිය 2019 වසර අවසාන වනවිට සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇති බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.