ආර්ථික වර්ධනයේ පෙන්වා ඇති පසුබෑම සහ පුළුල් වන අයවැය පරතරයට පිළියමක් ලෙස ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) හදිසි මූල්‍ය පහසුකමක් ඉල්ලා ඇති බව ප්‍රංශ පුවත් සේවය පවසයි.
ශ්‍රී ලංකා රජය එවැනි මූල්‍ය සහායක් ඉල්ලා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙහිදී තහවුරු කළත්, එය කොතරම් ප්‍රමාණයක මූල්‍ය පහසුකමක්ද හෝ එම ඉල්ලීම පිළිගත් බවට වැඩිදුර විස්තර ලබාදීමක් නොකළ බවද ප්‍රංශ පුවත් සේවය පවසයි.
"ශ්‍රී ලංකාව සමග වැඩසටහනක් වෙනුවෙන් මූල්‍ය අරමුදල වෙත ඉල්ලීමක් ලැබී තිබෙනවා" යැයි ඇමෙරිකාවේ වොෂිංටන් නුවර පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
2009 වසරේදී යුද්ධය අවසන් වීමත් සමග 8% ඉක්මවූ ඉතා යහපත් ආර්ථික වර්ධනයක් ශ්‍රී ලංකාව පෙන්නුම් කර තිබුණත්, ඉන් අනතුරුව ක්‍රමයෙන් ශ්‍රී ලංකා ආර්ථිකය පුළුල් නොවූ බවත්, එය 2015 තුන්වැනි කාර්තුව වනවිට 4.8% ක ආර්ථික වර්ධන වේගයක් දක්වා පහළ ගොස් තිබූ බවත් ප්‍රංශ පුවත් සේවය පවසයි.
ඔවුන් පෙන්වාදෙන පරිදි, පසුගිය වසරේ ජනවාරි මාසයේ බලයට පත්වීමත් සමගම ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය පහසුමක් බලාපොරොත්තු වුවත්, එම අරමුදල අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ ඒ වනවිට රටේ සංචිත ප්‍රමාණවත් මට්ටමක පවතින බව සඳහන් කරමිනි.
ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ඉහළ නංවා ගැනීම සඳහා 2009 වසරේදී ඇ.ඩො.බිලියන 2.6ක මූල්‍ය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදුන් අතර, එවකට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇ.ඩො.බිලියනයක් දක්වා පහළ වැටී තිබුණි.