2017 අයවැය යෝජනාවන්ට අනුව, ලොතරැයි සඳහා පනවන ලද නිෂ්පාදන බද්දට සමගාමීව සිදුකරන ලද ලොතරැයිපතක මිල රු. 30/- දක්වා ඉහළ දැමීම 2017.01.18 දින ජනාධිපතිවරයා විසින් ලබාදෙන ලද උපදෙස් අනුව නැවත ලොතරැයිපතක මිල රු.20/- දක්වා පහළ දැමීමට කටයුතු කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.
'මිල ගණන් දෙකකින් ලොතරැයිය මුද්‍රණය වීම' යනුවෙන් පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳව ලොතරැයි මණ්ඩලය විසින් සිදුකර ඇති නිවේදනය උපුටා දක්වමින් මෙම කරුණු පැහැදිලි කිරීම සිදුකර තිබුණි.
එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබුණේ, මෙම ක්‍රියාවලියේදී ජනාධිපතිවරයාගේ තීරණය ලබාදෙන අවස්ථාව වනවිට 2017.01.31 දින දක්වා දිනුම් ඇදීමට නියමිත ලොතරැයිපත් වෙළෙඳ පොළට නිකුත් වී තිබූ හෙයින් 2017.02.01 වැනි දින සිට රු.20/- මිලට අලෙවි කිරීම වෙනුවෙන් ලොතරැයිපත් මුද්‍රණය ද ජනවාරි මස අගදී ආරම්භ කළ බවය.
ඒ අනුව, 2017 පෙබරවාරි 04 වැනි දින දිනුම් අදින ලද 1419 වැනි වාරයේ ගොවිසෙත ලොතරැයියේ මූලික මුද්‍රණ ඇණවුමට අදාළ ලොතරැයිපත් 2017.01.31 දින ජාතික ලොතරැයි මණ්ඩලය වෙත ලැබුණු බවත්, දිනුම් ඇදීම පැවැත්වීමට පෙර දින එනම්, 2017.02.03 දින වෙළඳ පොළ ඉල්ලුම මත අතිරේක ඇණවුමක් ලෙස ලොතරැයිපත් 25,000 ක් මුද්‍රණය කිරීමට කටයුතු යෙදූ බවත් නිවේදනයේ දැක්වෙයි.
එම ලොතරැයිපත් 25,000 න් ඉතා සීමිත ලොතරැයිපත් ප්‍රමාණයක් පෙර පැවති මිල අනුව වැරදි ලෙස මුද්‍රණය වී ජාතික ලොතරැයි මණ්ඩලයීය ලොතරැයි ගබඩාව වෙත ලැබී තිබුණු අතර, එදිනම එම ලොතරැයිපත් ප්‍රමාණය සිය දිස්ත්‍රික් අලෙවි නියෝජිතවරුන් කිහිප දෙනෙකුට නිකුත් කර තිබූ බවද අදාළ නිවේදනයේ සඳහන් වෙයි.
මෙලෙස දෝෂ සහිතව මිල මුද්‍රණය වූ ලොතරැයිපත් සම්බන්ධයෙන් 2017.02.04 වැනි දින තොරතුරු ලැබුණු වහාම සුළු ප්‍රමාණයක් හැර ඉතිරි සියල්ල අලෙවියෙන් ඉවත් කිරීමට කටයුතු කරනලද බවත්, ඉදිරි කටයුතු සඳහා විගණනය සඳහා යොමු කර ඇති බවත් එහි සඳහන් වෙයි. එමෙන්ම, අදාළ ලොතරැයිපත්වලින් ඉතා සීමිත ප්‍රමාණයක් පමණක් පාරිභෝගිකයින් අතටද පත්වීමට හැකියාව පවතින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
මෙලෙස දෝෂ සහිතව මිල මුද්‍රණය වූ සීමිත ලොතරැයිපත් ප්‍රමාණය සඳහා ද, යොදාගෙන ඇත්තේ රු. 20/- ලොතරැයිපතට අදාල දත්ත ව්‍යුහයම වන අතර, මේ සම්බන්ධයෙන් පාරිභෝගික පැමිණිලි ඉදිරිපත්ව නොමැති බවත්, ආයතනයට මූල්‍යමය වශයෙන් පාඩුවක් ද සිදුව නොමැති අතර, මුද්‍රණයේදී සිදුවූ වරද සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ගයන් ගනිමින් පවතින බවද එහි වැඩිදුරටත් සඳහන් වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.