2018 මාර්තු මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇ.ඩො.මිලියන 1,108ක් ලෙස මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික අගය වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
කෙසේ වුවද, 2017 වසරේ ඉහළම මාසික අපනයන ආදායමද එම වසරේ මාර්තු මාසයේදී වාර්තා වීම හේතුවෙන් 2018 මාර්තු මාසයේදී අපනයන ආදායම පෙර වසරේ අදාළ මාසයට සාපේක්ෂව මධ්‍යස්ථ වර්ධනයක් පෙන්නුම් කරන බව කියයි.
මෙසේ අපනයන ආදායම ඉහළ යෑම සඳහා කාර්මික අපනයන ආදායම ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇති අතර, ඇඟලුම් අපනයන 2013න් පසුව ඉහළම අගය වාර්තා කර ඇත. එමෙන්ම, මැණික් අපනයනවල ඉහළ යෑමද මීට හේතු වී තිබේ. 2018 මාර්තු මාසයේදී අපනයන සඳහා ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඉන්දියාව, ජර්මනිය සහ ඉතාලය ප්‍රධාන වෙළෙඳ පොළ ලෙස පැවතී ඇති අතර, එම රටවල් වෙත සිදුකළ අපනයන ආදායම මුළු අපනයනවලින් 52%ක් බවද මහ බැංකුව පවසයි.