ගංවතුර හා නායයෑම් ආපදා තත්ත්වයෙන් දිවයින පුරා විපතට පත් ශ්රී ලාංකිකයන් වෙනුවෙන් මානුෂීය ආධාර සැපයීමට එක්සත් ජනපද භටහන් රැගෙන USS Lake Erie නෞකාව අද (11දා) උදෑසන දිවයිනට ළඟා විය.
එහිදී, නෞකාව හා එහි පැමිණි ඇමෙරිකානු ආරක්ෂක නිලධාරීන් පිළිගැනීම ඇමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්යභාර නිලධාරී රොබට් හිල්ටන් මහතා විසින් සිදුකළ බව එම තානාපති කාර්යාලය නිවේදනය කරයි.
මෙහිදී පිළිගැනීමේ කතාව සිදුකරමින් රොබට් හිල්ටන් මහතා පවසා සිටියේ, "මේ මානුෂීය ප්රයත්නයට සහභාගී වීම සහ ශ්රී ලංකාව සමග සමීපව කටයුතු කිරීම ගැන එක්සත් ජනපද නාවික හමුදාවටත්, පැසිෆික් බලකායටත් කෘතඥතාව පළ කර සිටිනවා" යනුවෙනි.
"ගංවතුරින් විපතට පත් ප්රදේශ සහ පාසල් පුනරුත්ථාපනය කිරීම හෝ ඒ ජනතාවට ආහාර සහ ජලය සැපයීම වැනි කවර කටයුත්තකට හෝ අපේ නාවිකයන් ඉතා හොඳ පුහුණුවක් ලබා සිටින අතර, ශ්රී ලාංකේය ජනතාවට ආධාර හා සහන සැලසීමට අප සූදානමින් සිටිනවා" යැයි මෙහිදී අදහස් දක්වමින් USS Lake Erie අණදෙන නිලධාරී කපිතාන් ඩැරන් මැක්ෆර්සන් මහතා පැවසීය.