ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහාය ඇතිව, ලංකා වෛද්‍යවරුන්ගේ සංසදය සමග එක්ව පවත්වනු ලබන 'මහජන සුවධන' ජාත්‍යන්තර සෞඛ්‍ය ප්‍රදර්ශනය 2017 සහ වෛද්‍ය සමුළුව ලබන ජූනි මස 14,15 සහ 16 යන දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම ප්‍රදර්ශනයට අදාළ කටයුතු දියත් කිරීම සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතින් පසුගියදා සිදුවිය. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ලංකා වෛද්‍යවරුන්ගේ සංසදයේ 50 වැනි සංවත්සරයට සමගාමීව පැවැත්වෙන බව එහි සංවිධායකයෝ පවසති.
ඔවුන් සඳහන් කර ආකාරයට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයේ දේශීය සහ විදේශීය කොටස්කරුවන් විශාල පිරිසක් මෙම ප්‍රදර්ශනයට සහභාගි වන අතර, රට තුළ ඇති විශේෂඥ සහ නවීනතම සෞඛ්‍ය සේවා පහසුකම් පිළිබඳවද ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව, විදේශීය රෝගීන් සහ සැපයුම්කරුවන් සඳහා වෛද්‍ය කේන්ද්‍රස්ථානයක් බවට වේගයෙන් පත්වෙමින් තිබෙන බවත්, එම නිසා මේ කොටස්කරුවන්ට සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයන් සමග අදහස් හුවමාරු කරගැනීමට මෙම ප්‍රදර්ශනය අවස්ථාවක් ලබාදෙනු ඇති බවත් ඔවුන්ගේ විශ්වාසය වී තිබේ. එසේම සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයන් සමග සහ දේශීය සහ විදේශීය අමුත්තන්ට ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවා ප්‍රවර්ධනයටද මෙම ප්‍රදර්ශනය මහඟු අවස්ථාවක් බවද ඔවුහු වැඩිදුරටත් පවසති.