ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රය බවට පත්කිරීම සහ අපනයන ඔස්සේ විදේශ වෙළෙඳ පොළ වෙත යා කිරීම තුළින් පුළුල් ආරථික මූලෝපායක් සකස් කිරීමට කටයුතු යොදන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසා සිටියේය.
මහ බැංකු අධිපතිවරයා මෙසේ අදහස් දක්වා සිටියේ DFCC බැංකුවේ මූලෝපාය වැඩමුළුවේදීය. මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන යන මහත්වරු විසින් මෙම වැඩමුළුව මෙහෙයවූ අතර, එහිදී රජයේ සාර්ව ආර්ථික සංවර්ධන සැලසුම් පිළිබඳව මෙන්ම, රටෙහි දිගුකාලින ආර්ථික හා මූල්‍ය අංශ වර්ධනය කෙරෙහිද අවධානය යොමු කෙරිණි.
පුළුල් ආර්ථික මූලෝපායක් සකස් කිරීම වෙනුවෙන් වන රජයේ ප්‍රතිඥාව යළි අවධාරණය කිරීමක් එහිදී මහ බැංකු අධිපතිවරයා විසින් සිදුකළ අතර, වාර්ෂික ඒක පුද්ගල ආදායම ඇ.ඩො. 5,000 දක්වා ඉහළ නැංවීම, නව රැකියා මිලියනයක් නිර්මාණය කිරීම, වාර්ෂික සෘජු විදේශ ආයෝජන ඇ.ඩො.බිලියන 05 දක්වා ඉහළ නැංවීම, ඇ.ඩො.බිලියන 20ක් දක්වා වාර්ෂික අපනයන වැඩි කිරීමට නව වැඩපිළිවෙළ ඔස්සේ බලාපොරොත්තු වන ආකාරය පිළිබඳවද අදහස් පළ කළේය. එහිදී, මෙම ආර්ථික ඉලක්ක අත්පත් කරගැනීම සඳහා වන ප්‍රධාන මූලෝපාය ලෙස ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රය බවට පත්කිරීම සහ අපනයන ඔස්සේ විදේශ වෙළෙඳ පොළ වෙත යා කිරීම හඳුනාගෙන ඇති බවද අධිපතිවරයා පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම, නව වෙළෙඳ ප්‍රතිපත්තිය හා ජාතික අපනයන මූලෝපායීක වැඩපිළිවෙළ, වඩාත් නිදහස්, සරල, පාරදෘශ්‍යභාවයක් සහිත, පුරෝකථන කළහැකි වෙළෙඳ පාලනයක් ඇති කිරීමට සහාය ලබාදෙන ආකාරය පිළිබඳවද අධිපතිවරයා අදහස් දැක්වීය. මෙම ප්‍රතිපත්ති වෙනස්වීම් අපනයන කේන්ද්‍රීය සෘජු විදේශ ආයෝජන වඩ වඩාත් ආකර්ශනය කරගනිමින්, වෙළෙඳ භාණ්ඩ ප්‍රවාහනය දියුණු කරමින්, ගෝලීය වෙළෙඳ පොළ සමග තරගකළ හැකි සේ දේශීය ආයතනයන් හි හැකියාව ඉහළ නංවනු ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
වැඩමුළුව අමතමින් අදහස් දැක්වූ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන මහතා, අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් ප්‍රතිපත්ති පුරෝකථනය කළ හැකි ස්ථාවර හා පාරදෘශ්‍යභාවයක් සහිත බව සහතික කරමින්, පහසුවෙන් ව්‍යාපාර සිදුකිරීමේ දර්ශකය තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය ඉහළ නැංවීම උදෙසා වන රජයේ අපේක්ෂාවන් පිළිබඳ අදහස් දක්වා සිටියේය. එහිදී, පෞද්ගලික අංශයට වඩාත්ම සතුටු විය හැකි කාරණය නම්, පොදු පෞද්ගලික සබඳතාව ආර්ථික වර්ධනයේ වාහකයා ලෙස යොදා ගැනීම බවද හෙතෙම පෙන්වා දුන්නේය.