මහ බැංකු 9වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව පවත්වයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනලද ශ්‍රී ලංකා මහ බැංකුවේ නව වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව පසුගිය 02 වැනිදා මහ බැංකු ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
මෙම සමුළුව මහ බැංකු, මුදල් අධිකාරීන්, විශ්වවිද්‍යාල සහ අනෙකුත් පර්යේෂණ ආයතනවල පර්යේෂකයන්ට මහ බැංකු කටයුතු සහ සාර්ව ආර්ථික කළමනාකරණය පිළිබඳ මෑතකාලීන සෛද්ධාන්තික සහ ප්‍රායෝගික පර්යේෂණ ඉදිරිපත් කිරීම සඳහා සංසදයක් සකස් කරදෙන අතර, කාලීන තේමා ඔස්සේ පර්යේෂණ සිදුකිරීම දිරිගැන්වීම අරමුණු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. 2008 වසරේ ආරම්භක සමුළුවේ සිට ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව ලොව නන්දෙසින් විද්‍යාර්ථින් ආකර්ෂණය කරනු ලබන සමුළුවක් වී ඇති අතර, කීර්තිමත් මහ බැංකුකරුවන්, විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් එහි ප්‍රධාන දේශන පැවැත්වීය.
මෙම වසරේ සමුළුව 'අභියෝගාත්මක ගෝලීය සහ දේශීය වාතාවරණයක් තුළ තිරසාර සංවර්ධනය සහ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති' යන පුළුල් තේමාව යටතේ බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.
මෙම සමුළු‘වෙහි ප්‍රධාන දේශනය, පසුගිය දශක කිහිපය තුළ ඉන්දියානු ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩිපිළිවෙළ තුළ ප්රමුඛ කාර්යභාරයක් ඉටුකළ ඉන්දියානු ජනරජයේ ක්‍රමසම්පාදන කොමිෂන් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති ආචාර්ය මොන්ටෙක් සිං අළුවාලියා විසින් පවත්වන ලදී. විශ්වසනීය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග තුළින් වෙළෙඳ පොළ අපේක්ෂිත දිශාව වෙත මෙහෙයවීම සඳහා මහ බැංකුවලට ඇති හැකියාවෙහි වැදගත්කම ඔහු සිය ප්‍රධාන දේශනයේදී අවධාරණය කර ඇති අතර, එහිදී ගුණාත්මක පර්යේෂණ වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව සඳහන් කළේය.
එමෙන්ම, නිසි මුදල් ප්‍රතිපත්ති උපකරණ සහ රාජ්‍ය මූල්‍ය මෙවලම් භාවිත කරමින් ආර්ථිකයේ සමස්ත ඉල්ලුම පාලනය කිරීමට මහ බැංකුව සහ රාජ්‍ය මූල්‍ය අධිකාරිය විසින් ගනු ලබන සාමූහික ක්රියාමාර්ගයන්හි ඇති වැදගත්කම හෙතෙම පෙන්වා දුන්නේය. ඒ අනුව, මහ බැංකුව සහ රාජ්‍ය මූල්‍ය අධිකාරියෙහි සාමූහික විශ්වසනීයත්වය මෙන්ම දේශපාලන ස්ථාවරත්වය රටක සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට ඉතා වැදගත් කාර්ය භාරයක් සිදුකරන බවද ඒ මහතා සඳහන් කළේය.
මේ අතර සාර්ව ආර්ථික ආකෘති නිර්මාණය පිළිබඳ අදහස දක්වමින්, දියුණු වෙමින් පවතින රටවල ආයතනික සීමාවන් නිසි පරිදි විදහා දැක්වෙන ආකෘති නිර්මාණය සහ උචිත ආකෘති තෝරාගැනීම, සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සැකසීම සඳහා ආකෘති පදනම් කරගත් ආර්ථික උපදෙස් ලබාදීමේදී තීරණාත්මක සාධක වන බව ආචාර්ය අළුවාලියා මහතා පෙන්වා දුන්නේය.
මෙම සමුළුවේ සමාරම්භක දේශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් පවත්වන ලදී.
තිරසාර සංවර්ධනය පිළිබඳව අදහස් දක්වමින්, සමාජ සංවර්ධනයට අතිරේකව ධන ඉපදවීම සහ ඵලදායී රැකියා නිර්මාණය විය යුතු අතර, එහිදී ආර්ථික වර්ධනයෙහි ඇති ගුණාත්මක බව වැදගත් සාධකයත් බව ඒ මහතා පවසා සිටියේය.
අධ්‍යාපනය, පුහුණුව සහ නිපුණතා සංවර්ධනය මගින් පුද්ගල බලගැන්වීම ප්‍රධාන කරගත් සර්ව සහභාගිත්වයක් සහිත ආර්ථික වර්ධනය, සමාජ ආරක්ෂණ ජාල, පාරිසරික තිරසාරත්වය, ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාව සහ ප්‍රා‘දේශීය සමබරතාව, තිරසාර සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය බව අධිපතිවරයා සඳහන් කළේය.
තවද, අභියෝගාත්මක ගෝලීය ආර්ථික වාතාවරණයක් තුළ, ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් විචක්ෂණශීලී සාර්ව ආර්ථික කළමනාකරණය සඳහා ඉහළ ප්‍රමුඛතාවක් අනුයුක්ත කිරීමට අවශ්‍ය බව හෙතෙම අවධාරණය කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ, ශාන්ත තෝමස් විශ්වවිද්‍යාලයේ මූල්‍ය කටයුතු පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා විසින් 'ශ්‍රී ලංකා මූල්‍ය වෙළෙඳ පොළ සංවර්ධන සඳහා සැලැස්මක්' යන මැයෙන් සමුළුවේ ආරාධිත දේශනය පවත්වන ලදී.
ප්‍රාග්ධන වෙළෙඳ පොළ සංවර්ධනය කිරීමේ සැලැස්මක් තුළ අන්තර්ගත කළ යුතු ප්‍රධාන අංශ මහාචාර්ය සමරකෝන් විසින් පෙන්වා දෙනු ලැබූ අතර, ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති හා යාන්ත්‍රණය, මූල්‍ය අංශය සංවර්ධනය කිරීමේ ප්‍රතිපත්ති වෙළෙඳ පොළ සංවර්ධනය සඳහා වන ජාතික වැඩසටහනක අත්‍යවශ්‍ය සාධක ත්‍රිත්වයක් ලෙස ඔහු විසින් හඳුන්වා දෙන ලදී.
මෙම සමුළුවේ තාක්ෂණික සැසිවලදී මුදල් ප්‍රතිපතිය, සාර්ව ආර්ථික ගැටලු සහ මූල්‍ය අංශයේ ගැටලු පිළිබඳව ප්‍රංශය, ජර්මනිය හා ඉන්දියාව යන රටවල විවිධ ආයතන නියෝජනය කරමින් පැමිණි පර්යේෂකයන් මෙන්ම, ශ්‍රී ලංකා මහ බැංකුවේ පර්යේෂකයෝ තීව්ර ඇගයීමේ ක්‍රියාවලියක් තුළින් තෝරාගනු ලැබූ පර්යේෂණ පත්‍රිකා අටක් ඉදිරිපත් කළහ.
පර්යේෂණවල විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරමින්,හොඳම පර්යේෂණ ප්රත්රිකාව සඳහා පිරිනමන ආචාර්ය. ඩී.එස්. විජේතුංග අනුස්මරණ සම්මානය ශ්‍රී ලංකා මහ බැංකුවේ ආචාර්ය සුජිතා ජෙගජීවන් මහත්මිය විසින් ඉදිරිපත් කරනලද 'Understanding Sri Lanka Business Cycles through an Estimated DSGE Model' යන පර්යේෂණ පත්‍රිකාව සඳහා හිමි විය.
ශ්‍රී ලංකා මහ බැංකුව සිය මීළඟ ජාත්‍යන්තර පර්යේෂ සමුළුව 2017 වසරේ අවසානයේදී පැවැත්වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

