ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ සුරැකුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් 1937 අංක 07 දරණ සංශෝධිත ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනතෙහි 4 වැනි වගන්තියට අදාළව අනුගමනය කර ඇති ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පැහැදිලි කිරීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
1. ලියාපදිංචි ස්කන්ධ (Stocks), රජයේ පොරොන්දු නෝට්ටු (Government Promissory Notes), ධාරක බැඳුම්කර (Bearer Bonds) සහ භාණ්ඩගාර බැඳුම්කර (Treasury Bonds) නිකුත් කිරීමේ අරමුණින් ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනත සම්මත කරන ලදී.
2. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වෙන්දේසි ක්‍රමය මත පදනම් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම 1997 වර්ෂයේදී ආරම්භ කරන ලදී. භාණ්ඩාගාර බැඳුම්කර, ප්‍රාථමික අලෙවිකරුවන් හරහා වෙන්දේසියේ නිකුත් කිරීම ආරම්භ වීමත් සමග භාණ්ඩාගාර බැඳුම්කරවල මිල සහ ප්‍රමාණය වෙළෙඳ පොළ බලපෑම් හරහා තීරණය කෙරිණි. එම නිසා අදාළ ගැසට් නිවේදනයන් භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවලින් පසුව ඉදිරිපත් වුවද, දිනය සහ ගැසට් නිවේදන අංකය කලින් වෙන්කර ගන්නා ලද ඒවා විය. ශ්‍රී ලංකා මහ බැංකුව පවත්නා නීතිමය අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා පහත සඳහන් පියවරයන් ගන්නා ලදී.
අ.) එක් එක් මූල්‍ය වර්ෂයක් සඳහා වූ විසර්ජන පනත යටතේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් අනුමත කරනලද සීමාව තුළ යම් වර්ෂයකදී සිදුකරන ලද මුළු ණයගැනීම් ප්‍රමාණය පවත්වාගෙන යන ලදී.
ආ.) මුදල් අමාත්‍යාංශය මගින් සපයනු ලබන තොරතුරු මත පදනම්ව භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම හරහා රැස්කර ගත යුතු මුදල, පොලී අනුපාතය, වෙන්දේසි දිනය, පියවිය යුතු දිනය සහ කල්පිරීම් ඇතුළු සියලු තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව භාෂා තුනෙන්ම ජාතික පුවත්පත්වල සහ එහි වෙබ් අඩවියෙහි ප්‍රකාශයට පත් කරනු ලබයි.
ඇ.) එක් එක් වෙන්දේසිය අවසාන වූ වහාම එම වෙන්දේසියට අදාළ ප්‍රතිඵල ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවිය හරහා පොදු මහජනතාවගේ දැනගැනීම පිණිස බෙදා හැරේ.
3. නව භාණ්ඩාගාර බැඳුම්කර කාණ්ඩයක් නිකුත් කිරීමට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර සඳහා පවතින කාණ්ඩයන් නැවත විවෘත කිරීමක්ද සිදු කරන අතර, ඒවා පිළිගත් ජාත්‍යන්තර ණය කළමනාකරණ පරිචයන්ට අනුකූලව කල්පිරීමට ඉතිරිව ඇති කාලසීමාව මත පදනම්ව නිකුත් කෙරේ. එම නිසා, සලකා බලන මූල්‍ය වර්ෂය තුළ අලුතින් නිකුත් කරන ලද මෙන්ම නැවත විවෘත කරන ලද භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ තොරතුරු කිසියම් වර්ෂයකට අදාළ ගැසට් නිවේදනයෙහි අන්තර්ගත වේ. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනතේ නම් කරන ලද නීතිමය අවශ්‍යතාවයන්ට අනුකූලව කටයුතු කර ඇති බව තහවුරු කර සිටී.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර පූර්ණ නෛතික අධිකාරීත්වයකින් සහ බලාත්මක බවකින් යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොදු මහජනතාව වෙත සහතික වන බවද එම නිවේදනයෙන් පෙන්වා දෙයි.
මීට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුව ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනතට අදාළ යෝග්‍ය සංශෝධනයන් කිරීමට ශ්‍රී ලංකා රජය වෙත නිර්දේශයන් සිදුකරනු ඇති බවද එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසා සිටියි.