පෞද්ගලිකකරණය යන වචනය සම්පූර්ණයෙන්ම තහනම් වචනය බවට පත් කරමින්, රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමට කටයුතු කළ බවත්, රාජ්‍ය අංශයේ පරිපාලනයත් පෞද්ගලික අංශයේ තරමටම කාර්යක්ෂම කිරීම වත්මන් රජයේ අරමුණ බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ වසර 7කට අධික කාලයක් සේවය කළ ජාතික ඉතිරිකිරීමේ බැංකු සේවකයන් පිරිසකට ස්ථිර පත්වීම් ලිපි ප්රදානය රාජගිරිය මහබැංකු පුහුණු ආයතනයේදී සිදුවූ අවස්ථාවේදීය. එහිදී, පත්වීම් ලාභීන් අමතා අමාත්‍යවරයා මෙසේ අදහස් පළ කළේය.
"මෛත්‍රී - රනිල් ආණ්ඩුව පත් කරගත්තේ ජනතාව විශාල බලාපොරොත්තුවක් ඇතුවයි. ජනවාරි 8 වැනිදා ජනතාවට තිබුණේ එක පවුලක් රජ කරනවාද, නැත්තම් ලක්ෂ 210ක් වන තමන් රජ වෙනවාද කියන තීරණය ගැනීමයි. එදා ජනතාව තීරණය කළා, අපි පවුලක් රජ කරවන්නේ නෑ අපි රජ වෙනවයි කියලා. ඒ අනුව, ජනතාව රජකරවීමේ වගකීම ආණ්ඩුවක් ලෙස අපි බාරගත්තා. ඒ ප්‍රතිඵල අද ජනතාවට ලැබමින් තියෙනවා. ඔබ අද ලබන පත්වීම් ලිපිත් එහි ප්‍රතිඵලයක්.
පෞද්ගලිකකරණය කියන වචනය සම්පූර්ණයෙන්ම තහනම් වචනය බවට පත් කරලා රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමට අපි කටයුතු කරනවා. රාජ්‍ය අංශයේ පරිපාලනයත් පෞද්ගලික අංශයේ තරමටම කාර්යක්ෂම කිරීම තමයි අපේ අරමුණ.
එදා අපිට පත්වීම් ලිපි ලබාදෙන අවස්ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිව්වේ මේ පත්වීම් දෙන්නේ ජනතාවගේ සුබ සිද්ධියට මිස ඇමතිවරුන්ගේ සුබ සිද්දියට නෙවෙයි කියලයි. ඒ වචනය ඒ ආකාරයටම පිළිපදිමින් අපි කටයුතු කරමින් සිටිනවා. බලන්න රාජ්‍ය ආයතනයකට ගිහින්. ඒවායේ සොරූපය පවා අද වෙනස්වීමකට ලක්වෙලා.
විශ්වවිද්‍යාලය ශිෂ්‍යන්ගේ ඉඳලා සියලු ක්ෂේත්රවල පිරිවල මානසිකත්වය වෙනස්වෙලා. ඔවුන් අද රට වෙනුවෙන් වැඩ කරන්න සූදානම්. මේක තමයි මෛත්‍රී - රනිල් යහපාලන ආණ්ඩුවේ වැදගත්ම දේ.
අපි බලයට ආවොත් රස්සා නැති වෙනවා, ඉන්ධන මිල අඩු කරන්න බෑ කියපුවා, බඩුමිල අඩු කරන්න බෑ කියපුවා සියල්ල මේ වනවිට අසත්‍යය බවට පත්ව තියෙනවා. ගොවියා ශක්තිමත් වී තියෙනවා." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.