පොළොන්නරු කිරි ගොවීන්ගේ කිරි අලෙවිය වැඩිකර ගැනීම අරමුණු කරගනිමින්, කිරි ගොවීන්, සී.අයි.සී ඩෙයරීස් හා මිල්ක් ඉන්ඩස්ට්‍රීස් ඔෆ් ලංකා (පෞද්) සමාගම අතර පසුගිය 18 වැනිදා අවබෝධතා ගිවිසුමකට එළැඹුණි.
ඇමෙරිකානු තානාපති කාර්යාලය පෙන්වාදෙන පරිදි, මෙම අවස්ථාවට එම තානාපති කාර්යාලයේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් මෙම ගිවිසුම් අත්සන් කිරීමේ අස්ථාවට සහභාගී වී තිබුණි.
මෙම ගිවිසුම නිසා පොළොන්නරුවේ කිරි ගොවීන්ට ඔවුන්ගේ කිරි අලෙවිය වැඩිකර ගැනීමට හැකිවනු ඇති බව තානාපති කාර්යාලය පවසයි. අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID) වැඩබලන අධ්යක්ෂ රීඩ් එයිෂ්ලීමන් හා ග්‍රාමීය කටයුතු අමාත්‍ය පී. හැරිසන් යන මහත්වරු මෙම අවස්ථාවට එක්වූහ. මෙහිදී අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ කිරි නිෂ්පාදනය වැඩිකර ගැනීමට ප්‍ර‘යෝජනවත් වන උපකරණද ගොවීන්ට බෙදාදීමක් සිදුකර තිබුණි.
මෙය එක්සත් ජනපද - ශ්‍රී ලංකා සහයෝගීතාව තුළින් මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම පිළිබඳ තවත් එක් උදාහරණයක් බවත් තානාපති කාර්යාලය කියයි. ඇමෙරිකානු තානාපති අතුල් කෙෂාප් ප්‍රකාශ කළේ, “කිරි සඳහා පොළොන්නරුවේ විශ්වාසී මූලාශ්‍රයක් පිහිටුවීමෙන් ගොවීන්ට මෙන්ම කිරි සමාගම්වලටද වාසි සැලසෙනු ඇති* බවයි.
කිරිපට්ටි කළමනාකරණයේ නවතම භාවිතයන් ගැන ගොවීන් පුහුණු කිරීමටත්, ගුණාත්මක ප්‍රමිතිවලට අනුව කිරි නිෂ්පාදනය කරන අයගෙන් දිනකට දෙවරක් කිරි එකතු කිරීමේ ගම් මට්ටමේ ශීතකරණ පද්ධති පිහිටුවීමටත්, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය ආධාර කරන බවද පැවසුණි. අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට අනුව අවම වශයෙන් අවුරුදු දෙකක් කිරි ගොවීන්ගේ අමතර නිෂ්පාදනය, සී.අයි.සී ඩෙයරීස් හා මිල්ක් ඉන්ඩස්ට්‍රීස් ලංකා (පෞද්) සමාගම විසින් මිලදී ගනු ඇත.