2017 වසර සඳහා වන අයවැය යෝජනාවලිය මගින් පළාත් සභා වෙනුවෙන් ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන කිසිදු අයුරකින් කප්පාදුවකට ලක්කර නොමැති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
එබැවින් මෙවර අයවැය යෝජනාවලිය මගින් මෙතෙක් පළාත් සභා සඳහා රජය විසින් වෙන්කරන ලද මූල්‍ය ප්‍රතිපාදන කප්පාදු කර ඇති බවට ඇතැම් පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් නඟන චෝදනාවන්ගේ කිසිදු සත්‍යතාවක් නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක් වූ අමාත්‍ය රවි කරුණානායක මහතා කියා සිටියේ, ඇතැම් අංශ සඳහා මෙතෙක් පළාත් සභා සඳහා මුදල් ලබාදුන් ක්‍රමවේදය වෙනුවට අදාළ රේඛීය අමාත්‍යාංශය වෙත අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඍජුව ලබාදීමට පියවර ගෙන ඇති බවයි.
එමගින් පළාත් සභා සඳහා රජය වෙන්කරන මුදල් විදේශ සංචාර වැනි නාස්තිකාර ක්‍රියා සඳහා යෙදවීම වළකින අතර ඒවා පළාතේ මහජන හිතසුව පිණිසම යොදා ගැනීමට හැකිවනු ඇති බවට මුදල් අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
එසේම පොදුවේ පළාත් සභාව වෙත ලබාදිය යුතු ප්‍රතිපාදන එලෙසම තවදුරටත් ලබාදෙන අතර, අනෙකුත් මුදල්, ඒ ඒ රේඛීය අමාත්‍යාංශයන්හි අවශ්‍යතා මත දැනටමත් වෙන්කර ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේය.
මීට අමතරව පළාත් සභාවලට අයත්, පළාත් පාලන ආයතන මගින් අය කෙරෙන රථ වාහන ලියාපදිංචි ගාස්තු, මුද්දර ගාස්තු, උසාවි දඩ, පළාත් පාලන ආයතනවල බදු සහ බදු නොවන ආදායම් ඒකාබද්ධ අරමුදලට බැර නොවී පළාත් සභා අරමුදලට බැර කෙරෙනු ඇති බවද මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.