මෙරටට පනවා ඇති යුරෝපා මත්ස්‍ය තහනම හේතුවෙන් ධීවර කර්මාන්තයේ පසුබෑවක් ඇති වූ අතර, මේ මස 13 වැනිදා යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම පැමිණීමෙන් අනතුරුව යුරෝපා මත්ස්‍ය තහනම 2016 වසරේ මුල් මාස කිහිපයේදී ඉවත්කර ගැනීමට හැකිවන බවත්, ඒ සමගම ධීවර ක්ෂේත්රයේ ආයෝජන අවස්ථා වැඩිකිරීමට කටයුතු කරන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී පිහිටුවනු ලැබූ ධීවර හා ජලජ සම්පත් උපදේශක සභාවට සහභාගී වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ධීවර ක්ෂේත්රයේ ආයෝජන අවස්ථා සඳහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ට අප ආරාධනා කර සිටිනවා. කරදිය මෙන්ම මිරිදිය ධීවර කර්මාන්තයේද ව්‍යාපෘති සකසා ඒ සඳහා ආයෝජකයන්ට අවස්ථාව ලබාදීමටත් අප බලාපොරොත්තු වෙනවා.
මුහුදු කූඩැල්ලන්, පොකිරිස්සන් ආදී වඳවෙමින් යන මත්ස්‍ය විශේෂ කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතුයි. ඒ වගේම, එකී මත්ස්‍ය විශේෂ අභ්‍යන්තරව සකස් කළ හැකි ව්‍යාපෘති කෙරෙහිද අවධානය යොමුකළ යුතුයි. ඒ වගේම, තල්මසුන්, මුහුදු ඌරා, ඩොල්පින්, මඩුවා, කස මෝරා, කැස්බෑවන් ආදී සත්ව විශේෂ සංරක්ෂණයටද අප ක්‍රියාකළ යුතුයි. ඒ අනුව, ධීවර ක්ෂේත්රය සම්බන්ධ කරගෙන සංචාරක ව්‍යාපාරයද සිදුකිරීමට අවස්ථාව සැලසෙනවා" යැයි පවසා සිටියේය.