Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
තමන් 2015 ජනවාරි 08 වැනි දින 'යහපාලන' රජයක් පිහිටුවද්දී, ශ්‍රී ලංකා ආර්ථිකය 'දැඩි සත්කාර ඒකකයක' පැවති බවත්, තමන් විසින් පසුගිය වසර දෙක තුළදී එම අසාධ්‍ය ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ආ බවත් වත්මන් රජයේ සමහර මැති ඇමතිවරුන් මෑතකදී ප්‍රකාශ කළ බව මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. එබැවින්, සියලු ශ්‍රී ලාංකිකයන්ට එම ප්රකාශයන්හි සත්‍යාසත්‍යතාව තේරුම් ගැනීමට හැකිවන පරිදි, එදා සහ අද පැවති සාර්ව ආර්ථික සාධකවල විග්‍රහයක් (2015 ජනවාරියෙන් පසු මහ බැංකු සහ අනිකුත් නිල දත්ත පදනම් කොටගෙන) අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙසේ ඉදිරිපත් කරයි.
සාර්ව ආර්ථික සාධක
ආර්ථික වර්ධනය
2010 සිට 2014 දක්වා වසර 5 තුළදී සාමාන්‍ය වර්ධනය වසරකට 6.8% ක් වූ අතර, ආයෝජන පරිසරය ස්ථාවර සහ සතුටුදායක විය. 2014.07.29 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා.මූ.අ.) ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මෑත කාලයේදී ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි ඉහළම වර්ධනයක් ඇති රටක් යයිද ප්‍රකාශ කොට තිබුණි.
2015 වසරේදී වර්ධන වේගය පසුබෑමට ලක්වෙමින් 4.8% දක්වා අඩුවූ අතර, 2016 දී 4% ට අඩු අගයකට වාර්තා වනු ඇතැයි අපේක්ෂා කෙරිණි. ආයෝජනය අඩාළ වී ඇති අතර, නව රැකියා බිහිවීමද අවම වී ඇත. කෘෂිකර්මය සහ සන්නිවේදන ක්ෂේත්රය අවදානම් තත්ත්වයක පවතී.
දළ දේශීය නිශ්පාදිතය (ද.දේ.නි)
2005 දී ඇ.ඩො. බිලියන 24 ක පැවති ශ්‍රී ලංකාවේ ද.දේ.නි. 2014 වනවිට 233% කින් වැඩි වී ඇ.ඩො.බිලියන 80ක් බවට පත්විය. 2014 මැයි මාසයේදී ෆිච් ශ්‍රේණිගත ආයතනය, ශ්‍රී ලංකාව කලාපයේ මාර්ග සහ වරායන් වැනි යටිතල පහසුකම් සමග සුබවාදීව සන්සන්දනය කළ හැකි විශාල පොදු යටිතල පහසුකම් ව්‍යාපෘති සමස්ත සංවර්ධන උපාය මාර්ගයේ කොටසක් වී ඇති රටක් බව පැවසීය.
2015 දී ද.දේ.නි. සුළු වශයෙන් ඇ.ඩො.බිලියන 82.3ක් දක්වා වැඩි වූ අතර, 2016 දී ඊටත් වඩා මන්දගාමී ලෙස වර්ධනය විය. ඒ අනුව, 2016 අග වනවිට ආර්ථිකය ඇ.ඩො.බිලියන 84ක් දක්වා පමණ වර්ධනය වී ඇතැයි ඇස්තමේන්තු කළ හැකිය.
ශ්‍රී ලංකා රුපියල සහ විදේශ සංචිත
2006 සිට 2017 දක්වා කාලය තුළ වසරකට 2.8% පමණ සාමාන්‍ය අවප්‍රමාණයක් වාර්තා කරමින් රුපියලේ අගය 2014 වසර අග වනවිට ඇ.ඩොලරයට සාපේක්ෂව රු.131/- බවට පත්විණි. විදේශ සංචිතය 2005 අග වනවිට තිබූ ඇ.ඩො. මිලියන 2,735 සිට 300% ක වර්ධනයක් වාර්තා කරමින්, 2014 අග වනවිට ඇ.ඩො. මිලියන 8,208 දක්වා වැඩිවී තිබුණි. එම සංචිත ප්‍රමාණය, කෙටිකාලීන විදේශ ණය පියවීම සඳහා 125%ක ආවරණයක් ලබාදෙමින්, සතුටුදායක මට්ටමක පැවතුණි.
2015 සහ 2016 වසර දෙක තුළදී, වසරකට 7% ක සාමාන්‍ය අවප්‍රමාණයක් සලකුණු කරමින්, ශ්‍රී ලංකා රුපියල, ඇ.ඩොලරයකට සාපේක්ෂව රු.150/- දක්වා පහත වැටුණි. තවද, 26% ක සංකෝචනයක් වාර්තා කරමින්, 2016 අගවන විට විදේශ සංචිත ඇ.ඩො.මිලියන 6,063 දක්වා පහත වැටුණි. ඊට අමතරව, විදේශ සංචිතය කෙටි කාලීන විදේශ ණය පියවීම සඳහා 75%ක ප්‍රමාණයක් පමණක් ප්‍රමාණවත් වූ නිසා, 2016 වසර අග වනවිට ආර්ථිකය දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී ඇත.
විදේශ සෘජු ආයෝජන (වි.සෘ.ආ.)
2006 සිට, වි.සෘ.ආයෝජන වර්ධනය වන ප්‍රවණතාවක් දක්වමින්, 2014 අග වනවිට, 2005 දී තිබූ ඇ.ඩො.මිලියන 287 සිට ඇ.ඩො.මිලියන 1,635 දක්වා වැඩි විය. එම අගය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළම අගය විය. තවද, 2014 අග වනවිට විදේශීය ආයෝජනවලින් දියත් කිරීමට නියමිත වූ ව්‍යාපෘති රැසක්ද ආරම්භ කිරීමට කටයුතු යොදාගෙන තිබුණි.
2015 වසරේදී වි.සෘ.ආයෝජන ප්‍රමාණය පසුබෑමකට ලක්වෙමින් ඇ.ඩො.මිලියන 1,161ක් දක්වා අඩු විය. 2016 දී තවදුරටත් දැවැන්ත ලෙස කඩා වැටෙමින්, ඇ.ඩො.මිලියන 450ක් පමණ වාර්තා විණි. මෙම අගය, මීට පෙර වසර 11 දී වාර්තා වූ අඩුම අගයයි. තවද, ඉදිරි අනාගතයේදී වි.සෘ.ආයෝජන අඩුවීමේ ප්‍රවණතාවක් බලාපොරොත්තු වන්නට සාධක රැසක් පවතී.
කොළඹ කොටස් වෙළෙඳ පොළ (කො.කො.වෙ.)
2014 අග වනවිට කො.කො.වෙළෙඳ පොළ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින්, කොටස් මිල දර්ශකය 7,299 දක්වා වැඩි වී තිබුණි. තවද, සමස්ත සමාගම්වල වෙළෙඳ ප්රාග්ධනය රු.බිලියන 3,100ක් වශයෙන් වාර්තා විණි. සාමාන්‍ය දෛනික පිරිවැටුම 2014 වසරේදී රු.මිලියන 1,414ක් බවට පත්විණි.
කො.කො. වෙළෙඳ පොළ ක්‍රමයෙන් පිරිහීමෙන් 2016 වසර අග වනවිට කොටස් මිල දර්ශකය 6,288 දක්වා අඩුවිණි. සමාගම්වල සමස්ත වෙළෙඳ ප්‍රාග්ධනයද රු.බිලියන 2,700ක් දක්වා අඩුවිය. 2015 වසරේදී සාමාන්‍ය දෛනික පිරිවැටුම රු.මිලියන 1,059ක් දක්වා අඩුවූ අතර, 2016 දී තවදුරටත් අඩුවෙමින් රු.මිලියන 737ක් දක්වා පහත වැටුණි. මේ ආකාරයට 2016 දී, 2014 දී අගය මෙන් අඩකට පමණ අගයකට කඩා වැටී ඇත.
උද්ධමනය
2014 වසරෙන් අවසන් වූ වසර 6 පුරාම ශ්‍රී ලංකා ඉතිහාසයේ අඩු උද්ධමනයක වැඩිම කාලයක් පවත්වා ගැනීමේ වාර්තාවක් බිහිකරමින් උද්ධමනය මැදි තනි ඉලක්කම්වල පිහිටා තිබුණි. විශේෂයෙන්ම 2014 වසරේදී සාමාන්‍ය උද්ධමනය 3.3% ක්වූ අතර, උද්ධමනය ඉදිරියේදීත් පහත අගයක පැවැත්වේ යැයි යන විශ්වාසය ව්‍යාපාර ප්‍රජාව තුළ ගොඩනැගී තිබුණි.
2015 වසරේදී ලෝක තෙල් මිල විශාල ලෙස පහළ වැටුණු නිසා, උද්ධමනය 0.9% ක අගයකට අඩු වුවද, 2016 දී උද්ධමනය 4.5% දක්වා වැඩි විය. එමෙන්ම, නව බදු පැනවීම් සහ රුපියලේ අගයේ දැවැන්ත කඩා වැටීම ඔස්සේ, අනාගතයේදී උද්ධමනය ශීඝ්‍ර ලෙස වැඩිවේ යයි ඇස්තමේන්තු කළ හැකිය.
රාජ්‍ය ණය
ද.දේ.නිෂ්පාදනයට සාපේක්ෂව රාජ්‍ය ණය ප්‍රමාණය, 2002 දී වාර්තා වූ 106% සහ 2005 දී වාර්තා වූ 91% සිට සැලකිය යුතු ආකාරයකට අඩුවෙමින්, 2014 වසරේදී 71% ලෙස වාර්තා විය. එමෙන්ම, රටේ පවතින පොලී අනුපාතයන්ද ක්‍රමක්‍රමයෙන් අඩුවීම නිසා, ණය හසුරුවීමේ පිරිවැය අඩුවෙමින් පැවතිනි. 2014 අග වනවිට, රාජ්‍ය ණය ප්‍රමාණය රු.බිලියන 7,391 ක් වශයෙන් වාර්තා වූ අතර, එම අගය 2014 අග වනවිට තිබූ රු.බිලියන 4,590 සිට රු.බිලියන 2,801 කින් වැඩිවීමක් පෙන්වීය. එහෙත්, එම වැඩිවීමට සාපේක්ෂව වරායන්, ගුවන් තොටුපොළ, විදුලි බලාගාර, වාරි මාර්ග, කාපට් මාර්ග, අධිවේගී මාර්ග සහ පාසල් ඇතුළු යටිතල පහසුකම් ව්‍යාපෘති රැසක් ඉදිකරන ලද අතර, උතුර සහ නැගෙනහිර පළාත්වල දැවැන්ත සංවර්ධනයක්ද දියත් කරන ලදී.
2015 සහ 2016 වසරවලදී රජයේ ණය ගැනීම් ප්‍රමාණය සහ පොලී අනුපාතය යන සාධක දෙකේම ශීඝ්‍ර ඉහළ යාමක් සිදුවිණි. ඒ අනුව, ද.දේ.නිෂ්පාදනයට සාපේක්ෂව ණය ප්‍රමාණය 76% දක්වා තියුණු ලෙස වැඩි වූ අතර, 2016 වසර අග වනවිට එම අනුපාතය 82% ක පමණ මට්ටමකට වැඩිවේ යැයි විශ්ලේෂකයන් ඇස්තමේන්තු කර ඇත. ඒ ආකාරයට 2016.09.30 දිනෙන් අවසන් වූ මෙම රජයේ පළමු වැනි මාස 21 තුළ, සමස්ත ණය ප්‍රමාණය රු.බිලියන 7,391 සිට රු.බිලියන 9,402 දක්වා කිසිදා සිදු නොවූ ආකාරයට රු.බිලියන 2,011 කින් වැඩිවී ඇත. එහෙත්, එම විශාල මුදලට සාපේක්ෂව, සැලකිය යුතු දෘශ්‍යමාන සංවර්ධනයක් බිම් මට්ටමේ නොතිබීම කණස්සල්ලට කරුණකි. ඒ අතර, මුදල් ඇමතිවරයා 2017 ජනවාරි මාසයේ පවසා ඇත්තේ රට දැන් මහා ණය උගුලක සිරවී ඇති බවය.
පොලී අනුපාතය
රටේ පොලී අනුපාත, අඩුවීමේ ප්‍රවණතාවකට යටත්ව, අඩු සහ ස්ථාවර මට්ටමක පැවතුණි. මාස 3 සිට වසර 30 දක්වා නිකුත් කරනලද සියලු භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල පොලී අනුපාතය 5.7% සිට 9.3% පරතරය තුළ පැවතුණි. එම නිසා, රජයේ පොලී පිරිවැය සෑහෙන මට්ටමකට අඩුවූ අතර, වෙළෙඳ ව්‍යාපාරවල පොලී පිරිවැයද සැලකිය යුතු මට්ටමකට අඩු විය.
2015 සහ 2016 වසරවලදී රටේ පොලී අනුපාත ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් ව්‍යාපාර අවදානම වැඩි වූ අතර, මූල්‍ය ක්ෂේත්රය ඇතුළු සියලු ක්ෂේත්රවල දිගුකාලීන පැවැත්මට යම් බලපෑමක් එල්ල විය. 2014 අග පැවතුණු පොලී අනුපාත සමග සංසන්ධනය කරන විට, 2016 දී පවතින භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල පොලී අනුපාත සියල්ලම පාහේ ද්විතීය ඉලක්කම්වල පවතින අතර, ඒවා පැවති අනුපාත හා සසඳන විට 60% කින් පමණ වැඩිවී ඇත.
භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල විදේශ ආයෝජන
2014 අග වනවිට භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල විදේශ ආයෝජන ඇ.ඩො. බිලියන 3ක පමණ සතුටුදායක මට්ටමක පැවතුණි. එම අගය සමස්ත භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නිකුතුවලින් 11.4% ක පමණ ඉහළ අගයක් විය.
2015 සහ 2016 වසරවලදී භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල විදේශ ආයෝජන ක්‍රමක්‍රමයෙන් රටින් බැහැරවීම නිසා, බාහිර අංශය දැඩි පීඩාවකට පත්වී ඇත. 2016 අග වනවිට විදේශ ආයෝජන, ඇ.ඩො. බිලියන 1.6 පමණක් වාර්තා කිරීමෙන් ගම්‍ය වන්නේ ඇ.ඩො. බිලියන 1.4 ක් (හෝ 47% ක ප්‍රමාණයක්), මේ වන විටත් රටින් පිට වී ඇති බවයි. එම අගය සමස්ත භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නිකුතුවලින් 5.5% ක පමණ අගයකි. එනම්, 2014 මට්ටමින් හරි අඩකටත් වඩා අඩුය.
අයවැය පරතරය
ක්‍රමක්‍රමයෙන් අඩු වන ප්‍රවණතාවක් වාර්තා කරමින් අය වැය පරතරය 2014 වනවිට 5.7% දක්වා අඩුවී තිබුණි. 2014 ජූලි මස ජා.මූ. අරමුදල පවසා සිටියේ අයවැය පරතරය අඩුවීමේ ප්රයත්නය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරමින් සමස්ත අයවැය පරතරය, රජය අඩු කරගෙන ඇති බවය.
2015 දී අයවැය පරතරය 7.4% දක්වා තියුණු ලෙස වැඩිවෙමින් සමස්ත ආර්ථිකයම දැඩි අවිනිශ්චිතභාවයකටද, කැළඹීමකටද ලක්කරන ලදී. 2016 වසරේදීද, මෙම පරතරය 6% දක්වා පමණ වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ඇත. මේ පිළිබඳව ආර්ථික විශේෂඥයන් කිහිප දෙනෙක්ම තමන්ගේ දැඩි කණස්සල්ල ප්‍රකාශ කොට ඇත.
වෙළෙඳ ශේෂය හා බාහිර අංශය
වෙළෙඳ ශේෂය සුළු වශයෙන් වැඩි වුවද, විදේශ ප්‍රේෂණ, සංචාරක ක්ෂේත්රය, තොරතුරු තාක්ෂණ ඉපැයීම් සහ මූල්‍ය අංශයට මුදල් ගලාඒම හරහා එහි අයහපත් බලපෑම ආර්ථිකයට නොදැනුණි. ඒ අනුව, 2014 වසරේදී, ශ්‍රී ලංකා ඉතිහාසයේ දෙවැනි විශාලතම ධනාත්මක විදේශ ගිණුම් ශේෂය (Surplus) වන ඇ.ඩො.මිලියන 1,369 ශ්‍රී ලංකාව විසින් වාර්තා කරනලදී.
2015 වසරේදී අපනයන සැලකිය යුතු ආකාරයකට අඩු වූ නිසා වෙළෙඳ ශේෂය තවදුරටත් අයහපත් අතට යොමුවිය. තවද, විදේශ ප්‍රේෂණවල වැඩිවීමක් නොතිබීමෙන්ද, මූල්‍ය ක්ෂේත්රයට විදේශ මුදල් ගලාඒම් අඩුවීම හේතුවෙන්ද, ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම සෘණාත්මක විදේශ ගෙවුම් ශේෂය (Deficit) වන ඇ.ඩො. 1,489, 2015 වසරේදී වාර්තා කරනලදී. එමෙන්ම, 2016 වසරේදීද විදේශ ගෙවුම් ශේෂය සෘණාත්මක එකක් වනු ඇතැයි විශ්ලේෂකයන් ඇස්තමේන්තු කොට ඇත.
ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම
ෆිච් ශ්‍රේණිගතකිරීම් ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබූ ජාත්‍යන්තර ණය ශ්‍රේණිය වූයේ 'ධනාත්මක' දැක්මක් සහිත BB- ශ්‍රේණියයි. ඒ අතරම, 2014 වසරේදී මෙම ශ්‍රේණිය තවදුරට ඉහළ නැංවීම පිණිස, ශ්‍රී ලංකා බලධාරීන් ශ්‍රේණිගත ආයතන සමග සාකච්ඡා ආරම්භ කොට තිබුණි.
2016 වසරේදී, ෆිච් ශ්‍රේණිගත කිරීම් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය B+ දක්වා පහත හෙළන ලද අතර, ආර්ථිකයේ දැක්මද 'සෘණාත්මක' ලෙස වර්ගීකරණය කරනලදී. තවද, බැඳුම්කර වංචා ඇතුළු තවත් දුර්වලතා මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහත හෙළිය හැකි යැයි බොහෝ දෙනෙකුගේ වර්තමාන විශ්වාසයයි.
ඉහත පෙන්වාදී ඇති කරුණු අනුව ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය වසර දෙක තුළදී ඉතා අයහපත් ලෙස කළමනාකරණය වීම තුළින් අද වනවිට දැවැන්ත අර්බුදයකට මුහුණපා සිටින බව පැහැදිලිවම පෙනී යන්නේ යැයි හිටපු මහ බැංකු අධිපතිවරයා පවසයි. මේ බව සනාථ කරමින් බ්ලූම්බර්ග් ආයතනය විසින් පසුගිය සතියේදී නිකුත් කරන ලද 'ගෝලීය අවදානම්' වාර්තාව අනුව, ශ්‍රී ලංකාව අධි ආයෝජන අවදානම් ඇති රටක් ලෙස හඳුන්වාදී ඇති බවද හෙතෙම පවසයි. එම වාර්තාවෙන් දක්වා ඇති ආකාරයට, රටවල් 80ක් අතරින් ශ්‍රී ලංකාව ලබා ඇත්තේ 67 වැනි මට්ටම වන අතර, එම මට්ටම මෑතකදී ආර්ථික අර්බුදවලට මුහුණදුන් ග්‍රීසියටත් වඩා මට්ටම් 20කින් පසුපසින් පිහිටීම කනගාටුදායක කරුණක් බවද ඔහු පෙන්වා දෙයි. තවද, 'ව්‍යාපාර කිරිමේ පහසුකම් දර්ශකය' (Ease of Doing Business Index) සහ 'දූෂණය පිළිබඳ මතය' (Corruption Perception Index) දර්ශකය අනුව, ශ්‍රී ලංකාවේ මට්ටම සැලකිය යුතු ලෙස අයහපත් දිශාවකට වැටී ඇති බවට වාර්තා වී ඇතැයිද හිටපු අධිපතිවරයා පවසයි.
තත්ත්වය මෙසේ තිබියදී, තමන්ගේ පෞද්ගලික විශ්වසනීයභාවයද දැඩි ලෙස පළුදු වී ඇති සමහර ඇමැතිවරුන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් යැයි කොපමණ උදම් ඇනුවද, මෙම අයහපත් ආර්ථික තත්ත්වය සහ අසුබවාදී ව්‍යාපාර මතය නොවෙනස්වනු ඇති බවද ඔහු අවධාරණය කරයි. එම නිසා, ඔවුන් දැන් කළ යුත්තේ අසත්‍ය ප්‍රකාශ ලබාදීමවත්, ලාබාල 'නිදහසට කරුණු' ඉදිරිපත් කිරීමවත්, පසුගිය පාලන තන්ත්රයට වෛරීව සහ ඊර්ෂ්‍යාකාරීව චෝදනා නැගීමවත් නොවන බව පෙන්වාදෙන හිටපු අධිපතිවරයා, එසේ නොවී පවතින අයහපත් තත්ත්වය ප්‍රායෝගිකව හඳුනාගෙන, සිදුවන්නට යන දැවැන්ත විනාශය අවම කර ගැනීමට දියත් කළ යුතු සියලු ක්‍රියාමාර්ග දියත් කිරීම වත්මන් පාලන තන්ත්රයේ වගකීම බවද සිහිපත් කරයි. ඔවුන් එසේ නොකළහොත්, ඔවුන් විසින්ම නිර්මාණය කරනලද, ඔවුන් විසින්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය භාජනය කොට ඇති මේ 'අංගසම්පූර්ණ කුණාටුව' (perfect storm) මුළුරටම වෙලා ගනිමින්, අප රට විශාල විනාශයකට ගොදුරුවීම නොවැළැක්විය හැකිවනු ඇතැයිද මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කර සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd