ත්‍රිරෝද රථ භාවිතය අධෛර්යමත් කිරීමට රජයක් ලෙස තීරණය කළේ ආර්ථික හා සමාජීය කරුණු රැසක් පදනම් කරගෙන බවත්, එම රථ ස්වයං රැකියාවක් ලෙස අවිධිමත් ආකාරයෙන් යොදාගැනීම හමුවේ අර්බුද රැසක් පැනනැගී ඇති බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ පසුගිය 26දා, කොළඹ සීනෝර් හෝටලයේ පැවැති සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන් හා හිමිකරුවන්ගේ විශේෂ රැස්වීමකට එක්වෙමිනි.
ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා පැවැති මෙම රැස්වීමට දිවයින පුරා ත්‍රිරෝද රථ රියදුරන් හා හිමිකරුවන් නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වී තිබුණි. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ත්‍රිරෝද රථ සේවාවට අදාළව නියාමනයක් සිදුකිරීම කාලීන අවශ්‍යතාවක් බවයි. ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් හා හිමිකරුවන්ගෙන්ම ඊට යෝජනා ඉදිරිපත්වීම වඩා ප්‍රතිඵලදායක බවද හෙතෙම පවසා සිටියේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක් වූ මුදල් අමාත්‍යවරයා,
“ස්වයං රැකියාවක් විදියට ත්‍රිරෝද රථ සේවාව හඳුන්වා දුන්නත් අද විශාල වශයෙන් මේ ක්ෂේත්රයට එන පිරිස වැඩි වී තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙන මට්ටමේ ත්‍රිරෝද රථ සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ තියෙනවා. මේ නිසා රටේ ශ්‍රම බලකාය එකම ක්ෂේත්රයකට කොටුවෙලා. ඒක ආර්ථික සහ සාමාජීය ගැටලු රැසකට හේතුවක් වෙලා. ඒ නිසා තමයි, අලුතෙන් මේ ක්ෂේත්රයට පිරිස පැමිණීම අධෛර්යයට පත් කරවන්න අපි රජයක් විදියට තීරණය කළේ. මේ පියවරෙන් ත්‍රිරෝද රථ තවදුරටත් රට තුළට පැමිණීම සීමා වෙනවා වගේම, දැනට ක්ෂේත්රයේ නිරත වෙලා ඉන්න අයගේ ආර්ථිකයත් ශක්තිමත් වෙනවා.
ඒ වගේම, තවත් කරුණක් සිහිපත් කළ යුතුයි. මේ අධෛර්යයට පත්කිරීම කරන්නේ අලුතෙන් ක්ෂේත්රයට එන පිරිසට පමණයි. දැනට කර්මාන්තයේ නිරතවෙලා ඉන්න කිසිම කෙනෙකුට එය බලපාන්නෙ නැහැ. ඔබට දැනටමත් ත්‍රිරෝද රථයක් තියෙනවා නම්, ඊට ණයක් ගැනීම සඳහා ඉස්සර වගේම කිසිදු ගැටලුවකින් තොරව ඒ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඇතැම් මූල්‍ය ආයතන ඔබට කිසියම් ණයක් දීමේදී පෙරට වඩා කිසියම් අධෛර්යට පත්කිරීමක් කරනවා නම් අපට වහාම කියන්න. අපි මේ අධෛර්යයට පත්කිරීම කරන්නේ අලුතෙන් ත්‍රිරෝද රථ ක්ෂේත්රයට පිවිසෙන්නන්ට පමණයි" යනුවෙන් පවසා සිටියේය.
මෙම රැස්වීමේදී ත්‍රිරෝද රථ රියදුරන්, අමාත්‍ය රවි කරුණානායක මහතාගෙන් ඉල්ලා සිටියේ, කිසියම් රියදුරෙකු නීති විරෝධී ලෙස වමෙන් ඉස්සර කළහොත් එය වරදක් වන නමුත්, ඒ සඳහා වන දඩ මුදල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරවන ලෙසයි. ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ පිළිබඳව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මගින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කර ඊට පිළිතුරක් ලබාදෙන බවයි.
මෙම අවස්ථාවට සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන් හා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා ඇතුළු සාමාජිකයෝ විශාල පිරිසක් එක්ව සිටියහ.