සෑම වසරකම ජුනි 21 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර යෝගා දිනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 17දා කොළඹ නිදහස් චතුරස්රයේදී පැවැත්විණි.
ජනාධිපතිවරයා, රජයේ මැති ඇමතිවරුන් සහ නිලධාරීන් මෙන්ම, යෝග පිළිබඳ උනන්දුවක් දක්වන විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සැමරුමේදී යෝගා ආසන කිහිපයක් සමග ඒකාත්මික වීමටද ඒ සියලු දෙනාට අවස්ථාව උදාවූ අතර, ඉන්දීය අගමැතිවරයාගේ සහ විදේශ කටයුතු අමාත්‍යවරියගේ පණිවුඩ මෙහිදී ප්‍රචාරය කෙරුණු බවද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සින්ධූ මහතා මෙහිදී සඳහන් කළ පරිදි, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවකට අනුව සෑම වසරකම ජූනි 21 වැනිදා ජාත්‍යන්තර යෝගා දිනය ලෙස ප්‍රකාශයට පත්කිරීම 2014 දෙසැම්බර් 11 වැනිදා සිදුවූයේ රටවල් 170ක සහයෝගයෙනි. එසේ, ඉන්දීය යෝජනාවට සහාය දුන් රටවල් අතර ශ්‍රී ලංකාවද විය. එමෙන්ම, වැළැක්විය හැකි හා ප්‍රතිකාර කළ යුතු රෝග රැසකට වඩාත් ප්‍රබල මෙවලමක් ලෙස යොදාගත හැකි යෝගා ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීමට ජනපතිවරයා දක්වන සහයෝගයද මහ කොමසාරිස්වරයාගේ ඇගයුමට ලක්ව තිබේ.
පුරාතන ඉන්දියාවේ සාම්ප්‍රදායික උරුමයක් ලෙස ලද යෝගා යනු, ආයුර්වේදය මෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර හුවමාරු වූවක් බවද පෙන්වා දෙයි. ඒ අනුව, ප්‍රථම වරට 2015 වසරේ පැවති ජාත්‍යන්තර යෝගා දිනය මෙන්ම, පසුගිය වසරේදී පැවති ජාත්‍යන්තර යෝගා දිනයටද මෙරටදී විශාල ප්‍රතිචාර හිමි වූ බව මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
තෙවැනි වරට සංවිධානය කෙරුණු මෙවර ජාත්‍යන්තර යෝගා දිනය උතුර - දකුණු සහ බටහිර - නැගෙනහිර යන ශ්‍රී ලංකාවේ සියලු ප්‍රධාන නගර යා කෙරෙන යෝගා වැඩසටහන් මාලාවකින්ද සමන්විත වන වව මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පවසයි.