ශ්‍රී ලංකාවේ නව ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා සොයා බැලීම සදහා ශ්‍රී ලංකාවට පැමිණි ජපාන වාණිජ සහ කර්මාන්ත මණ්ඩල නියෝජිත පිරිසක් අද (25දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.
වසර 140 ක දීර්ඝ ඉතිහාසයක් ඇති ජපන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ ටෝකියෝ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය නියෝජනය කරමින් 77 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා සංචාරය සඳහා එක්ව සිටිති.
පසුගිය වසරේ පැවති ජී8 සමුඑවේදී ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා හමුවූ අවස්ථාවේ දී ශ්‍රී ලංකාව කෙරෙහි දැක්වූ මිත්රශීලීභාවය තමා ඉතා අගය කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ජපන් ජයිකා ආයතනය විශාල වශයෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ලබා දුන් දායකත්වය ද ඇගයීමට ලක්කළ ජනාධිපතිවරයා, ආයෝජන අවස්ථා වැඩිකර ගැනීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරන බැවින් ඒ සඳහා ඕනෑම අවස්ථාවක ජපන් ආයෝජකයින්ට අවශ්‍ය සහයෝගය ලබාදීමට ශ්‍රී ලංකා රජය සූදානම් බවද සඳහන් කර තිබේ.
1979 වසරේ දී ජපන් වාණිජ මණ්ඩල නියෝජනය කරමින් මෙරටට නියෝජිත පිරිසක් පැමිණ ඇති අතර ඉන් අනතුරුව වසර 39 කට පසු මෙරටට පැමිණි විශාල ම ජපන් ව්‍යාපාරික නියෝජිත පිරිස මෙම පිරිස බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මේ අවස්ථාවට අමාත්‍ය මලික් සමරවික්‍රම, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ගංගානාත් දිසානායක, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා යන මහත්වරු ද එක්ව සිටියහ.