ගෝල්ඩන් කී තැන්පත්කරුවන් ගෙන තිබෙන අධිකරණමය ක්‍රියාමාර්ග ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළහොත්, ඔවුන්ගේ තැන්පතු ලබාදීම මසකින් අරඹන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා සිටියේය.
මුදල් අමාත්‍යවරයා හා ගෝල්ඩන් කී තැන්පත්කරුවන් අතර ඊයේ (13දා) මුදල් අමාත්‍යාංශයේදී පවත්වා ඇති විශේෂ සාකච්ඡාවකදී රවී කරුණානායක මහතා මෙම යෝජනාව සිදු කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා,
"ගෝල්ඩන් කී තැන්පත්කරුවන් මේ වනවිට මුහුණදී ඇති ගැටලුවට කඩිනම් පිළිතුරු ලබාදීමේ අරමුණින් අප විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවා. මෙහිදී අපි ඔවුන්ට යෝජනාවක් ඉදිරිපත් කළා. එනම්, ඔවුන් මේ වනවිට තමන්ගේ ගැටලුව සම්බන්ධයෙන් ගෙන ඇති අධිකරණමය ක්‍රියාමාර්ග ඉල්ලා අස්කර ගන්නා ලෙසයි. එසේ කළොත් ඔවුන්ගේ තැන්පතු ලබාදීමට කටයුතු කරනවා කියන යෝජනාව අපි ඉදිරිපත් කලා.
ඒ අනුව, රු.මිලියන 02කට අඩු තැන්පත්කරුවන්ගේ මුදල් මාසයක් ඇතුළත ගෙවා අවසන් කිරීමටත්, රු.මිලියන 10කට අඩු තැන්පත්කරුවන්ගේ මුදල් මාස 02ක් ඇතුළත ගෙවා ඉවර කිරීමටත් පුළුවන් කියන කාරණාවත් අපි කිව්වා. ඒ අනුව, සියලුම තැන්පත්කරුවන්ගේ මුදල් වසරක් ඇතුළත ගෙවා නිම කරන බවට අපි යෝජනාවක් කළා. නඩුව ඉල්ලා අස්කර ගත්තොත් තැන්පත්කරුවන් වෙනුවෙන් මහ බැංකුව පෙනී සිටින බවද අප කියා සිටියා. එහිදී, මේ කරුණු සියල්ල ලිඛිතව ඉදිරිපත් කළ හැකිනම් නඩු ඉල්ලා අස්කර ගැනීමට හැකි බවට ඔවුන්ගේ පාර්ශ්වයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වුණා. ඒ අනුව, අදාල ලිඛිත පොරොන්දුව නඩුව ඉල්ලා අස්කර ගන්නා අවස්ථාවේදී අධිකරණය වෙත ලබාදීමටන අපි පොරොන්දු වුණා." පවසා සිටියේය.
අමාත්‍යවරයා එහිදී තැන්පත් කරුවන්ගෙන් විමසා සිටියේ අදාළ යෝජනාවට එකඟද යන්නයි. තැන්පත්කරුවන් ඊට ඒක මතිකව කැමැත්ත පළ කළ අතර, ඉන්පසු තැන්පත්කරුවන්ගේ පාර්ශ්වයෙන් යෝජනාවක් ඉදිරිපත් විය. ඔවුන් කියා සිටියේ පළමු වැනි වටයේදී මිලියන 2කට අඩු තැන්පත්කරුවන්ට මුදල් ලබාදීම වෙනුවට සියලු ම තැන්පත්කරුවන්ට හැකි මුදලක් ලබාදෙන ලෙසය. අමාත්‍යවරයා ඊටද එකඟතාව පළ කළේය.
පසුව යළි අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ලබන 18 වැනිදා තමයි ප්‍රධාන නඩුව යළි සලකා බලන්නට තිබෙන්නේ. එදාට එය ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළහොත් අපි එම අවස්ථාවේදීම උසාවියට ලිඛිතව මේ පොරොන්දුව ලබාදෙනවා. ඒ අනුව, 18 වැනිදා සිට මසකින් තැන්පතු යළි ලබාදීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා." යැයි පවසා සිටියේය.
එමෙන්ම, නීතිපති දෙපාර්තමේනතුවේ උපදෙස් මත අදාළ ලිඛිත පොරොන්දුව වහාම සකස් කරන ලෙස අමාත්‍යවරයා එහිදී මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට උපදෙස් ලබා දුන්නේ ය.
මුදල් අමාත්‍යාංශයේදී පැවති මෙම සාකච්ඡාවට තැන්පත්කරුවන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.