ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස උපාලි මාරසිංහ මහතා සුබ මොහොතින් වැඩ භාරගෙන තිබේ.
විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන් පිරිසක්ද එක්ව සිටි බව අමාත්‍යාංශය නිවේදනය කරයි.
ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීයකු වූ උපාලි මාරසිංහ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරියෙකි. රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් ලබාගන්නා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකුද වේ. අධ්‍යපන අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඇතුළුව අමාත්‍යාංශ ගණනාවක ලේකම්ධුර සහ විවිධ උසස් තනතුරු දැරූ උපාලි මාරසිංහ මහතා රසායනික විද්‍යාව සහ ඵලදායීතාව පිළිබඳ පර්යේෂණාත්මක කෘති රැසක් රචනා කර තිබේ.
2011 වසරේදී ඵලදායීතාව පිළිබඳ ආසියානු සංවිධානයේ ඵලදායීතා විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීමටද ඒ මහතා සමත් විය. අමාත්‍යාංශයේ ලේකම් ලෙස වැඩභාර ගැනීමේ උත්සවයට සහභාගි වෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ දිවා රෑ නොබලා වෙහසී වී තම වගකීම් ඉටු කරන පරිපාලන විෂය ගැන පුළුල් දැනුමක් ඇති පුද්ගලයකු තම අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වීම ගැන සතුටට පත් වන බවයි.
“ඛනිජ තෙල් අමාත්‍යාංශය කියන්නේ මේ රටේ වැදගත්ම අමාත්‍යාංශයක්. ඉදිරියේදී ඉන්ධන සම්පත අපට සොයා ගැනීමට හැකි වුණොත් එය අපේ අමාත්‍යාංශය රටට දෙන වැදගත්ම දෙය වනවා. එයින්ම අපිට අපේ ආර්ථිකය වෙනත් දිශාවකට යොමු කරන්න පුළුවන් වේවි. එමෙන්ම අපේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන දියුණුකර ලාභ ලබන තත්ත්වයකට පත් කර රටේ සම්පත් ආරක්ෂා කරන තැනකට අපි යොමු විය යුතුයි. ඒ සඳහා අද ලේකම් ධුරයේ වැඩ භාරගත් උපාලි මාරසිංහ මහතා ප්රමුඛ අවධානය යොමු කරනු ඇතැයිද මම විශ්වාස කරනවා...” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.