කොටස් වෙළෙඳ පොළ ආයෝජනය සහ එහි වර්තමාන ප්රතිලාභ පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමේ අරමුණෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව සංවිධානය කරනු ලබන %කොටස් වෙළෙඳ පොළ නගරයෙන් නගරයට’ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් පානදුරේදී පැවැත්වීමට නියමිතය.
පෙබරවාරි 24දා පෙ.ව.9.30 සිට 11.30 දක්වා පානදුර Jie Jie Beach by Jetwing හෝටලයේදී සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය අයකිරීමකින් තොරව පැවැත්වෙන්නක් බවද පෙන්වා දෙයි. එමෙන්ම, මෙම වැඩසටහනට සහභාගී වීම තුළින් වර්ධනය වන වෙළෙඳ පොළ ප්රතිලාභ ළඟා කරගැනීම පිළිබඳව මනා අවබෝධයක් ලබාගත හැකි බවද ඔවුහු පෙන්වා දෙති.
නවකයන්ට ආයෝජන ඇරඹීම පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු දැනගැනීමටත්, කොටස් වෙළෙඳ පොළෙහි වත්මන් ආයෝජකයන්ට වෙළෙඳ පොළ තත්ත්වය වටහා ගැනීමටත් මෙය අනගි අවස්ථාවක් වනු ඇති බවද කියැවෙයි. මෙදින කොටස් තැරව්කාර සමාගම් හා ඒකක භාර ආයතන නිලධාරීන් හා උපදේශකයන් හමුවීමෙන් එසැණින් ආයෝජනය සඳහා ප්‍රවේශය ලබාගැනීමත් කළ හැකි බව ඔවුහු පෙන්වා දෙති.
ශ්‍රී ලාංකේය කොටස් වෙළෙඳ පොළ සහ ප්‍රාග්ධන වෙළෙඳ පොළ පිළිබඳව අත්දැකිම් බහුල වෘත්තීකයන් වන සිදත් කල්‍යාණරත්න සහ ප්‍රභාෂ් වනිගතුංග යන් මහත්වරුන් මෙම සමුළුවේදී දේශන පැවැත්වීමට නියමිත අතර, මේ පිළිබඳ වැඩි විස්තර සහ ලියාපදිංචි වීම සඳහා 011-2356517, 514 / 512 යන දුරකථන අංක ඇමතිය හැකිය.