කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු යටතේ, 'කොටස් තරැව්කාර ආයතනයක සේවය කරන්නෙකුට කොටස් ගනුදෙනු කළ හැක්කේ ඔහු හෝ ඇය සේවය කරන ආයතනයෙන් පමණි', 'ආයෝජකයාගේ මූල්‍ය තත්ත්වය, පළපුරුද්ද සහ ආයෝජන අරමුණු පිළිබඳව ආයෝජන උපදේශකයා හොඳින් තේරුම්ගත යුතුය', 'ඔබ කොටස් තැරැව්කාර ආයතනයකින්ම කොටස් ගිණුමක් ආරම්භ කරගත යුතුය', 'වෙළෙඳ පොළෙහි ඇති අවදානම පිළිබඳව කොටස් තැරැව්කාර ආයතනය ඔබව නිසි ලෙස දැනුම්වත් කර තිබිය යුතුය', 'කොටස් තරැව්කාර ආයතනය නිවැරදි සහ අංග සම්පූර්ණ වාර්තා තබා ගැනීමක්ද කළ යුතුය', 'ආයෝජකයෙක් සිදුකළ කොටස් ගනුදෙනුවකට අදාළ විස්තර පත්‍රිකාවක් ගනුදෙනු දිනය අවසානයේදී ආයෝජකයා වෙත ලබාදිය යුතුය' යන මාතෘකා පිළිබඳව සාකච්ඡා කළෙමු. මෙවර ලිපියෙන්ද එවැනි ඔබට වැදගත් වූ මාතෘකා කිහිපයක් පිළිබඳව කතා කිරීමට අපි අදහස් කරන්නෙමු.
ආයෝජකයාගේ තොරතුරු පිළිබඳ රහසිගතභාවය කොටස් තැරැව්කාර ආයතනය ආරක්ෂා කළ යුතුය.
කිසිම කොටස් තැරැව්කාර ආයතනයකට තම ගනුදෙනුකරුවන්ගේ තොරතුරු තවෙකෙකුට හෝ අවසරයකින් තොරව ලබාදිය නොහැක. එසේ ලබාදෙන්නේ නම් ඒ ආයෝජකයාගේ පූර්ව ලිඛිත අවසරයකින් හෝ කිසියම් නීතියක් අනුව හෙළිදරව් කළ යුතු නිසා හෝ කොළඹ කොටස් හුවමාරුවේ මධ්‍යම තැන්පතු ක්රමයේ නීති ප්‍රකාරව වේ.
ගනුදෙනු දින සිට ඉදිරි දින 3ක් ඇතුළත (T+3) ආයෝජකයෙක් කොටස් ගනුදෙනු සඳහා අදාළ බේරුම්කරණය සිදුකළ යුතුය.
කොටස් ගනුදෙනුවක් කළ සැණින් ඒ සඳහා ගෙවීම් සිදුකර අවසන් කිරීම අත්‍යවශ්‍ය නැත. ආයෝජකයාට තම බේරුම්කරණයන් සිදුකිරීමට ඉදිරි දින කිහිපයක් ලබාදෙයි. T+3 යනුවෙන් හඳුන්වනු ලබන්නේ එයයි. එය ආයෝජකයාට පහසුවකි. එසේ බේරුම්කරණය නොකරන්නේ නම් ඔවුන් වෙනුවෙන් මිලදී ගත් කොටස් නැවත විකුණා දැමීමට කොටස් තැරැව්කාර සමාගමට හැකියාව ඇත. එමෙන්ම එම කොටස් තැරැව්කාර ආයතනය විසින් ගනුදෙනු බේරුම්කරණය සඳහා ආයෝජකයාට T+3 වලට වඩා තවත් දින කිහිපයක් ලබාදුනහොත් එම දිනයන් දක්වා පොලියක් ගෙවීමටද සිදුවේ.
කොටස් තැරැව්කාර ගාස්තුවක් ගෙවීමට සිදුවේ.
කොටස් ගනුදෙනුවලට අදාළව ආයෝජකයන් විසින් කොටස් ගනුදෙනු පිරිවැයක් දැරිය යුතුය. විශේෂයෙන්ම එහි සඳහන් ගාස්තු අතර කොටස් වෙළෙඳ පොළ අය කරන ගාස්තු, කොටස් තරැව්කාර ආයතනයේ ගාස්තු, මධ්‍යම තැනැපතු ක්රමයේ ගාස්තු, රජයේ සෙස් බදු සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ගාස්තු ආදියද ඇතුළත් වේ. මෙම සියලුම ගාස්තු ආයෝජකයා කොටස් ගනුදෙනුවක් සිදුකළ සැණින් තැරැව්කාර සමාගමින් අය කරනු ඇත. රු.මිලියන 50ක් වටිනා කොටස් ගනුදෙනුවක් වෙනුවෙන් 1.12% ක ගනුදෙනු පිරිවැයක්ද, රු.මිලියන 50 ට වඩා වැඩි කොටස් ගනුදෙනුවක් සඳහා ඊටත් වඩා අඩු ගාස්තුවක්ද අයකරනු ඇත.
කොටස් ගනුදෙනුවකදී යම් වරදක් සිදුවූ විට
කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවලදී යම් වරදක් සිදුවී ඇත්නම් එය නිරාකරණය කරගැනීමට ඇති හැකියාව පිළිබඳව ආයෝජකයන් දැන සිටිය යුතුය. ගනුදෙනුවක් හා සම්බන්ධ යම් පැමිණිලි කිරීමක් සිදුකිරීමට ඇත්නම් එය ප්‍රථමයෙන් අදාළ කොටස් තැරැව්කාර ආයතනයේ අනුකූලතා නිලධාරියා වෙත දැනුම් දිය යුතුය. එනම්, එය ලිඛිතව ලබාදිය යුතු අතර, ගනුදෙනු සිදුවී මාස 3ක් ඇතුළත ලබාදිය යුතුය. ඒ අනුව, කොටස් තැරැව්කාර ආයතනයේ අනුකූලතා නිලධාරීවරයා එම පැමිණිල්ල කෙරෙහි නිසි අවධානය යොමුකර සාධාරණ විසඳුමක් ලබාදීම අපේක්ෂා කෙරේ. එමගින් ලබාදෙන විසඳුම් පිළිබඳ ආයෝජකයා සෑහීමකට පත් නොවේ නම් හෝ කිසිඳු විසඳුමක් ලබානොදෙන්නේ නම් ආයෝජකයාට තම පැමිණිල්ල කොටස් වෙළෙඳ පොළ වෙත යොමුකර විසඳුමක් ලබාගැනීමට හැකියාව ඇත. එමෙන්ම, කොටස් වෙළෙඳ පොළ විසින් ලබාදෙන විසඳුම සමගද ආයෝජකයා එකඟ නොවන්නේ නම්, කොටස් වෙළෙඳ පොළෙහි ආරවුල් විසඳීමේ කමිටුවට ඉදිරිපත් කර විසඳුමක් බලාපොරොත්තු විය හැකිය. එය නියෝජනය කරනු ලබන්නේ කොළඹ කොටස් හුවමාරුවේ අධ්යක්ෂ මණ්ඩලයට ඇතුළත් වන මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන අධ්යක්ෂවරුන් සහ කොටස් තැරැව්කාර සමාගම් නියෝජනය කරන අධ්‍යක්ෂවරුන්ය.
ආයෝජකයෙකු ලබාදෙන ඇණවුම් පිළිබඳ වාර්තා කොටස් තැරැව්කාර සමාගම පවත්වාගෙන යා යුතුය.
ආයෝජකයා සහ කොටස් තැරැව්කාර ආයතනය අතර ඇතිවිය හැකි ගැටලු අවම කරගැනීම සඳහා සුදුසුම ක්‍රියාමාර්ගයක් වන්නේ ආයෝජකයෙකු කොටස් මිලදී ගැනීමක් සහ කොටස් විකිණීමක් සම්බන්ධයෙන් ලබාදෙන ඇණවුම් පිළිබඳ වාර්තා අඩුම තරමින් මාස 6ක් යනතුරු පවත්වාගෙන යා යුතුවීමය. සමහර අවස්ථාවල කොටස් තැරැව්කාර සමාගම එම ඇණවුම් පිළිබඳ දුරකථන තොරතුරු වාර්තා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සහ ලිඛිතව ලබාදෙන ඇණවුම් වශයෙන් යන දෙයාකාරයෙන්ම වාර්තා තබා ගනී. ඇණවුම් සම්බන්ධයෙන් ඇතිවන ගැටලු නිරාකරණය කිරීමට සහ ආයෝජකයා ඉදිරිපත් කළ ඇණවුම් පිළිබඳව තහවුරු කිරීමට එම තොරතුරු පවත්වාගෙන යාම වැදගත් වේ.
ආයෝජකයාට සුහදශීලී සේවාවක් ලබාදිය යුතුය.
කොටස් තැරැව්කාර ආයතනයක් ආයෝජකයන් වෙනුවෙන් තම සේවා කටයුතු ලබාදීමේදී හැකි සෑම අවස්ථාවකම ඉතා සුහදශීලීව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන අතර උපදේශකයන්ගේ හැකියාවන් අනුව ඉහළම සේවයක් ලබාදිය යුතුය. එමෙන්ම, ඔවුන් තුළ ආයතනය පිළිබඳ ඇති ආකාර්ෂණීයත්වය තවදුරටත් ඉහළ නැංවෙන සේවාවක් ලබාදිය යුතුය. ඊට හේතුව ආයෝජකයන්ට මෙම තැරැව්කාර ආයතනවල සේවාව අත්‍යවශ්‍ය මෙන්ම තැරැව්කාර සමාගම්වලටද තම ගනුදෙනුකරුවන් අත්‍යවශ්‍ය වන බැවිනි. ආයෝජන උපදේශකයන් පමණක් නොව එම ආයතනවල කටයුතු කරන සියලුම සේවකයන් වෙතින් ආයෝජකයා සමග ගැටුම් ඇති නොවන ආකාරයෙන් ඉතා හොඳ සේවයක් තම ගනුදෙනුකරුවන්ට ලබාදිය යුතුය.
මෙහි තවත් කොටසක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.