Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
අප දකින්නේ හිතකර පින්තූරයක්ද?
මේ දිනවල කොළඹ කොටස් වෙළෙඳ පොළේ ඇති වී තිබෙන පහළ වැටීම පිළිබඳව ආයෝජකයන් අතර මෙන්ම, ඒ පිළිබඳව උනන්දුවක් දක්වන මහජනතාව අතරද විවිධ කතාබහ ඇති වෙමින් පවතී. එමෙන්ම, විපක්ෂයේ ඇතැම් මතයන්වලදීද, ඔවුන් කොටස් වෙළෙඳ පොළේ කඩා වැටීම පිළිබඳව කතා කරන ආකාරය දැකිය හැකිය. ඒ ආකාරයෙන්, වර්තමානයේ ඇති වී තිබෙන මෙවැනි විවිධ අදහස් නිසා කොළඹ කොටස් වෙළෙඳ පොළ පිළිබඳව යම් අවබෝධයක් නොමැති අයෙකුට පවා දක්නට ලැබෙන්නේ එතරම් හිතකර පින්තූරයක් නම් නොවේ.
පෞද්ගලිකව නොව රටට යහපතක් දැකීම
කොටස් වෙළෙඳ පොළ පිළිබඳව ඇසෙන මේ කතාබහ සමහරක් සත්‍ය වන අතර, තවත් සමහරක් මවා ගත් කරුණු බව ඒ ගැන විමසීමේදී පැහැදිලි වේ. මෙවැනි මවාගත් කරුණුවලට හොඳම උදාහරණයක් ලෙස පසුගිය සතියේ පුවත්පත් සාකච්ඡාවකදී රටේ ප්‍රබල විපක්ෂ දේශපාලඥයෙකුගේ කතාවක් ගෙනහැර දැක්විය හැකිය. ඔහුට අනුව, කොළඹ කොටස් වෙළෙඳ පොළ පහළ වැටීම හේතුවෙන් සමහර දිනවල කොටස් වෙළෙඳ පොළ වසා දැමීමට පවා සිදුව ඇත. එහිදී, ඔහු පටලවාගෙන ඇත්තේ කොළඹ කොටස් වෙළෙඳ පොළ සහ චීනයේ කොටස් වෙළෙඳ පොළ බව පැහැදිලිය. එහිදී, චීනයේ කොටස් වෙළෙඳ පොළ මේ වසරේදී දෙවතාවක් පහළ වැටීම හේතුවෙන් වසා දමන්නට සිදුවිය. ඒ අනුව, අපට සිතිය හැකි වන්නේ මේ ප්‍රකාශය කළ පුද්ගලයා එය හිතාමතාම කළ බව හෝ ඔහුට වැරදි තොරතුරු ලබාදී වෙනත් පාර්ශ්වයක් විසින් ඔහු මුලා කර ඇති බවය. කෙසේ වෙතත්, ආර්ථිකයට සංවේදී මෙවැනි තොරතුරු ප්‍රකාශයට පත්කිරීමේදී සියලු දෙනා වගකීමෙන් යුතුව ප්‍රකාශ නිකුත් කරන්නේ නම්, එය පෞද්ගලිකව නොව, රටට යහපතක් වනු ඇති බව අපේ හැඟීමය.
විනිමය කොමිසම හා කොටස් වෙළෙඳ පොළ එක මතයක
කොටස් වෙළෙඳ පොළේ මෙම පහළ වැටීමට බලපා ඇති කරුණු වශයෙන් විවිධ අය විවිධ අර්ථ කථන ලබාදෙන බව අපි මුලදීද ප්‍රකාශ කළෙමු. කොටස් වෙළෙඳ පොළ ගැන කතා කිරීමේදී ඊට සම්බන්ධ පාර්ශ්ව කිහිපයක්ම සිටියි. ඉන් ප්‍රධාන වන්නේ කොළඹ කොටස් වෙළෙඳ පොළ නියාමනය කරන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, කොටස් වෙළෙඳ පොළට අවශ්‍ය යටිතල පහසුකම් සලසන කොළඹ කොටස් වෙළෙඳ පොළ, කොටස් තැරැව්කාර ආයතන සහ ආයෝජකයන් ය. කොටස් වෙළෙඳ පොළේ පහළ වැටීම පිළිබඳව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් වෙළෙඳ පොළ බොහෝ විට දරන්නේ එකම මතයකි. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්න සහ කොළඹ කොටස් වෙළෙඳ පොළේ සභාපති වජිර කුලතිලක යන මහත්වරු පසුගිය දිනවල සිදුකළ ප්‍රකාශවලින් ඒ බව පැහැදිලි විය.
සෘණ බලපෑමක් කළ විදේශීය සාධක
ඔවුන්ගේ මතය අනුව, කොළඹ කොටස් වෙළෙඳ පොළේ පහළ වැටීමට ප්‍රධාන වශයෙන් පාදක වී ඇත්තේ විදේශීය කාරණාවන් ය. ඒවා අතර, චීනයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය, යුරෝපයේ ඇතිවී තිබෙන සංක්‍රමණික ගැටලුව, ලෝකයේ අමුද්‍රව්‍ය මිල ගණන් නොකඩවා පහළ වැටීම, තෙල් මිල නොකඩවා පහළ වැටීම, ඇමෙරිකානු පොලී අනුපාතික ඉහළ නැගීම, ලෝකයේ සමහර මහ බැංකු විසින් හඳුන්වා දෙමින් සිටින සෘණ පොලී අනුපාත යන කාරණා ප්‍රධාන තැනක් ගනී.
මන්දගාමී චීන ආර්ථිකය හා තෙල් මිලේ කඩා වැටීම
එම වාර්තාවලට අනුව චීනයේ ඇති වි තිබෙන ආර්ථික අර්බුදය ලෝක ආර්ථික අර්බුදයක් බවට පෙරළීමේ ප්‍රවණතාවක් දැකිය හැකිය. එය බොහෝ විට සමාන වන්නේ වර්ෂ 2008 දී ඇති වූ ලෝක ආර්ථික අර්බුදයටය. චීනයේ ආර්ථික පසුබෑම හමුවේ ලෝකයේ විශාලතම අමුද්‍රව්‍ය ආනයනය සිදුකරන චීනයේ ඉල්ලුම අඩු වී ඇති බැවින්, අමුද්‍රව්‍ය මිල ගණන් නොකඩවා පහළ වැටෙමින් පවතින ආකාරය දැකිය හැකිය. එමෙන්ම, ලෝකයේ තෙල් මිල ගණන් මේ වනවිට ඉතා පහළම මට්ටමකට පැමිණ ඇති නිසා තෙල් අපනයනය කර තම ආර්ථිකය ශක්තිමත් කරගත් බොහෝ මැදපෙරදිග රාජ්‍යයන්, ආර්ථික අර්බුදයකට මුහුණදෙමින් සිටින බවද නොරහසකි. එය කොතරම් උග්‍ර අතකට පත්ව ඇතිදැයි කිවහොත්, මේ වනවිට බොරතෙල් බැරලයක් ඇ.ඩොලර් 29 ක් දක්වා පහළ වැටී ඇත. ආර්ථික විශේෂඥයන්ගේ පුරෝකථනවලට අනුව මෙය තවදුරටත් පහළ වැටෙනු ඇත.
ඇමෙරිකානු පොලී අනුපාතික ඉහළ දැමීම
1940 න් පසු වාර්තා වූ විශාලතම සංක්‍රමණික ගැටලුවට වර්තමානයේදී යුරෝපය මුහුණදෙමින් සිටින්නේ ඒ සඳහා පෙනෙන මානයේ විසඳුමක් නොමැති ආකාරයෙනි. ඒ සමගම අයි.එස්. ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ ග්‍රහණයට ඛනිජ තෙල් සම්පතින් ආඪ්‍ය සමහර රටවල් ලක්වෙමින් සිටීමද සුළුවෙන් තැකිය නොහැකිය. මේ කාරණා මෙසේ පවතිද්දී, ඇමෙරිකානු ෆෙඩරල් සංචිත බැංකුව (මහ බැංකුව) පසුගිය දෙසැම්බර් මාසයේදී තම පොලී අනුපාතික යම් මට්ටමකට ඉහළ දැමීය. එය 2008 ලෝක ආර්ථික අර්බුදයෙන් පසුව පොලී මට්ටම් ඉහළ දැමූ ප්‍රථම අවස්ථාව ලෙසද පෙන්වාදිය හැකිය.
සෘණ පොලී අනුපාතවලට යොමුවීම
එමෙන්ම, පසුගිය සති කිහිපයේදී වාර්තා වූ තවත් කරුණක් වූයේ ජපානය ඇතුළු සමහර රටවල්වල මහ බැංකු විසින් සෘණ පොලී අනුපාත පවත්වාගෙන යෑමට තීරණය කිරීමය. ඒ අනුව සිදුව ඇත්තේ වසරක් තුළ බැංකුවේ මුදල් තැන්පත් කළ පුද්ගලයෙකුට වසර අවසානයේදී ඒ මුදලම ලබාගැනීමට නම් බැංකුවට යම්කිසි ගෙවීමක් සිදුකළ යුතු වීමය. මේ කාරණා සියල්ලෙන්ම පැහැදිලි වන්නේ ලෝක ආර්ථිකය සැලකිය යුතු ගැටලුවකට මුහුණදී ඇති බවය.
දශක එකහමාරකට පසු දැඩි බලපෑමක්
මෙවැනි කාරණාවලින් සෘජුවම බලපෑමක් ඇති වන්නේ ලෝකයේ කොටස් වෙළෙඳ පොළවලටය. වර්ෂ 2000 න් පසුව වාර්තා වූ පහළම අගයන් ලෝකයේ කොටස් වෙළෙඳ පොළවල් තුළ මේ වනවිට වාර්තා කරමින් සිටින බව පැහැදිලිය. ඒ අනුව බැලීමේදී මෙම ආර්ථික අර්බුදය කොටස් වෙළෙඳ පොළේ විදේශීය ආයෝජනවලට සෘජු බලපෑමක් කරනු ඇතැයි සැලකිය හැකිය. ඒ අනුව, කොටස් වෙළෙඳ පොළේ පහළ යෑම සම්බන්ධයෙන් විනිමය කොමිසමේ සභාපතිවරයා සහ කොළඹ කොටස් වෙළෙඳ පොළේ සභාපතිවරයා විසින් පළ කර ඇති අදහස් ලේසියෙන් බැහැර කළ නොහැකි බව පෙනේ.
සෘණ බලපෑමක් කළ දේශීය සාධක
මෙම විදේශීය කාරණාවලට අමතරව, දේශීය වශයෙන්ද කාරණා කිහිපයක් කොටස් වෙළෙඳ පොළේ පැවැත්මට බලපා ඇත. බොහෝ කොටස් තැරැව්කාර ආයතනවල සමීක්ෂණ අංශ මගින් පෙන්වාදී ඇති ආකාරයට කොටස් වෙළෙඳ පොළේ පහළ වැටීමට අප ඉහත සඳහන් කළ කාරණා සියල්ලම බලපා ඇත. ඊට අමතරව, පසුගිය අයවැය මගින් හඳුන්වා දුන් සුපිරි බද්ද ද කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත වී ඇති සමහර සමාගම් සඳහා සෘජුවම බලපා ඇත. එමෙන්ම, අයවැය මගින් හඳුන්වාදුන් මූල්‍ය ආයතන සඳහා බලපාන සමහර නීතිරීති ද (ලීසි පහසුකම් ඇතුළුව) කොටස් වෙළෙඳ පොළේ පැවැත්මට අහිතරකරව බලපෑවේය. පසුකාලීනව මෙම යෝජනාව සංශෝධනයට ලක්වීම යම් අස්වැසිල්ලක් බවද කිව යුතුය. එමෙන්ම, කොටස් තැරැව්කාර ආයතනවලට අනුව කොටස් වෙළෙඳ පොළේ පහළ වැටීමට බලපා ඇති තවත් කාරණාවක් වන්නේ බැංකු පොලී අනුපාත සුළු වශයෙන් ඉහළ නැගීම හා ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමය.
විනිමය කොමිසමේ බලපෑම කුමක්ද?
ඉහත කාරණා අනුව අපට පැවසිය හැක්කේ එම සියලුම කාරණා කොටස් වෙළෙඳ පොළේ හැසිරීමට යම් ආකාරයකින් දායක වී ඇති බවය. කෙසේ වෙතත්, මේ කෙරෙහි වැඩි වශයෙන් දායක වී ඇත්තේ විදේශීය කාරණා බව කොටස් වෙළෙඳ පොළ පිළිබඳව අවබෝධයක් ඇති ඕනෑම අයෙකුට තේරුම්ගත හැකි සත්‍යයකි. එහෙත්, සමහරක් කොටස් තැරැව්කාර ආයතන සෘජුවම නොවුණත් වක්රවත්, සමහරක් ආයෝජකයනුත් පවසා සිටින්නේ කොටස් වෙළෙඳ පොළේ පහළ වැටීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වගකිව යුතු බවය. ඒ සඳහා ඔවුන් බොහෝ විට යොදාගනු ලබන්නේ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්න මහතාය. පසුගිය සතියේදී එක් බ්ලොග් අඩවියක සඳහන් කර තිබුණේ, කොටස් වෙළෙඳ පොළේ පහළ වැටීම සිදුවන්නේ තිලක් කරුණාරත්න මහතාගේ හැසිරීම් රටාව නිසා බවය.
සභාපතිවරයා මීට සෘජුවම වගකිව යුතුද?
පසුගිය වසරේ ජනවාරි 08 වැනිදා නව ජනාධිපතිවරයාගේ සම්ප්රාප්තියත් සමග සිදුවූ එක් වෙනසක් වූයේ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස තිලක් කරුණාරත්න මහතා පත් කිරීමය. ඒ දෙස ඇතමෙකු සුබවාදීව බැලූ අතර, තවත් අය අසුබවාදීව බැලූ පත්වීමක් විය. සෘජුවම නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයෙකු වශයෙන් තිලක් කරුණාරත්න මහතා ප්‍රසිද්ධියට පත්ව සිටින බැවින් ඔහුගේ පත්වීමට ප්‍රිය නොකරන පුද්ගලයන් කොටස් වෙළෙඳ පොළ් සිටිනු ඇතැයි සිතීම අපහසු නොවේ. නමුත් ප්රශ්නය වන්නේ කොටස් වෙළෙඳ පොළේ පහළ වැටීමට ඔහුගේ ක්‍රියා පටිපාටිය බලපා ඇතිදැයි සොයා බැලීමය.
අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දැමීම
වර්ෂ 2015 ජනවාරි 08 වැනිදායින් පසුව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කොටස් වෙළෙඳ පොළට සෘජුවම හෝ වක්‍රාකාරව බලපාන කිසිම නීතිරීතියක් හඳුන්වා නොදුන් පරිසරයක් තුළ එහි වත්මන් සභාපතිවරයාගේ හැසිරීම කොටස් වෙළෙඳ පොළේ පැවැත්මට අහිතකරව බලපා ඇත්තේ කෙසේදැයි යන ප්රශ්නය මතු වේ. වර්ෂ 2011 දී ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව හඳුන්වාදුන් මිල ඉහළ පහළ යෑමේ නීතිය සහ ණය සීමා කිරීමේ නීතිය කොටස් වෙළෙඳ පොළේ හැසිරීමට සෘජුවම බලපෑ බව එහි සිටින ආයෝජකයන් හොඳකාරවම දන්නා කාරණයකි. මෙම මිල ඉහළ පහළ යෑමේ නීතිය සහ ණය සීමා කිරීමේ නීතිය වැනි නීති, කොටස් වෙළෙඳ පොළේ ඉහළ පහළ යෑමට සෘජුවම බලපාන බවට හොඳම උදාහරණයක් ලෙස පෙන්වාදිය හැකිය. මෙවැනි නීති පැනවීමෙන් බලාපොරොත්තු වූයේ කොටස් වෙළෙඳ පොළ යම්කිසි ආකාරයක සාමාන්‍ය මට්ටමකට ගෙන ඒමත්, කෘත්‍රිමව ඉහළ යමින් තිබූ කොටස් වෙළෙඳ පොළ නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමත් බව එකල තත්ත්වය නිරීක්ෂණය කිරීමේදී කොටස් වෙළෙඳ පොළ පිළිබඳ අවබෝධයක් ඇති ඕනෑම අයෙකුට වැටහෙන සත්‍යයකි. නමුදු, නීතිරීති හඳුන්වාදීමේ අරමුණ කොතරම් හිතකර වුවත්, කොටස් වෙළෙඳ පොළේ ඉහළ පහළ යෑමට එම නීතිරීති බලපෑ බව අප පිළිගත යුතුය. මින් අදහස් කරන්නේ මෙම නීතිරීති හඳුන්වාදීම වැරදි ක්‍රියාවක් ලෙස හුවාදැක්වීම නොවේ. එය එම කාලයේදී සිදුකළ යුතුව තිබූ ක්‍රියාවලියක් බව සැබෑය. එහිදී, සැබවින්ම සිදුවිය යුතුව තිබුණේ, මෙකී නීතිරීති ඊටත් කලින් පැනවීමය. මන්දයත්, එදා එම නීතිරීති හඳුන්වාදීම අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දැමීමක් වැනි විය.
වැරදි නැත්නම් කලබල වන්නේ කුමකටද?
ඒ අනුව බලන විටදී ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පසුගිය වසරක කාලය තුළ කොටස් වෙළෙඳ පොළට බලපාන කිසිම නීතිරීතියක් වෙනස් කර නොමැත. තත්ත්වය එසේ පවතින විට කොටස් වෙළෙඳ පොළේ පහළ වැටීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂණ් සභාවේ හැසිරීම කෙසේ බලපෑවේදැයි පැවසීම ගැටලු සහගතය. තවත් සමහර ආයෝජකයන් පවසන්නේ සමහර අවස්ථාවලදී කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කොටස් තැරැව්කාර ආයතනවලට සහ ආයෝජකයන් හට දුරකථන ඇමතුම් ලබාදෙමින් කොටස් ගනුදෙනු සම්බන්ධයෙන් විමසන බැවින්, එය කොටස් වෙළෙඳ පොළේ පැවැත්මට අහිතකරව බලපාන බවය. යම්කිසි ගනුදෙනුවකදී ඒ පිළිබඳව සොයා බැලීම ලෝකයේ ඕනෑම නියාමකයෙකුගේ වගකීම වන බැවින්, කිසිවෙකුත් වැරැද්දක් සිදුකර නොමැති නම්, ඒ පිළිබඳව කලබල විය යුතු නැත. නියාමකයාගෙන් දුරකථන ඇමතුමක් ලැබූ පමණින් කොටස් වෙළෙඳ පොළේ ආයෝජකයා මන්දගාමී වන බව පවසන්නේ නම්, එසේ පවසන්නේ නිවැරදිව කටයුතු කරන ආයෝජකයන් දැයි සොයා බැලීම නුවණට හුරුය.
ආයෝජක විශ්වසනීයත්වය නංවමු
කෙසේ වෙතත්, මෙවැනි වාතාවරණයක් තුළ වර්තමානයේදී ආයෝජක විශ්වසනීයත්වය එතරම් ඉහළ ගොස් ඇතැයි සඳහන් කළ නොහැකිය. වර්ෂ 2010 හා 2011 වැනි කාලවලදී කොටස් වෙළෙඳ පොළේ සිදුවූ සමහර අක්‍රමිකතා පිළිබඳව විවිධ වාර්තා පළ කෙරිණි. එම වාර්තා හේතුවෙන් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීමට සමහර ආයෝජකයන් බියට පත්විය. මෙම ආයෝජක විශ්වසනීයත්වය වැඩි කිරීමට සිදුකළ හැකි ප්රමුඛ කාර්යය වන්නේ එම අක්‍රමිකතා සිදුකළ පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීමය. එසේ සිදුකරනු ලබන්නේ නම්, එය ආයෝජක විශ්වසනීයත්වය වැඩි කිරීමට ඉවහල් වනු ඇත. එහිදී, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට විශාල වගකීමක් පැවරෙන අතර, එම වගකීම ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ඉටු කරන්නේ කෙසේදැයි යන්න ගැන සියලු දෙනා බලා සිටින බවද මෙහිලා සඳහන් කළ යුතුව ඇත. බොහෝ විට සඳහන් වන ආකාරයට කොටස් වෙළෙඳ පොළේ හා අනෙකුත් මූල්‍ය වංචා සොයා බැලීම කල්ගත වන කාරණයක් වුවත්, ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නම්, එය කොටස් වෙළෙඳ පොළ පිළිබඳ සියලු දෙනාගේම විශ්වාසනීයත්වය තව තවත් ඉහළ නංවනු ඇත.
සියලු පාර්ශ්ව එක්ව කටයුතු කරමු
මේ සියලු කාරණා සංක්ෂිප්ත කොට බැලීමේදී, කොළඹ කොටස් වෙළෙඳ පොළේ වර්තමාන පහළ වැටීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ බොහෝ විදේශීය කාරණා සහ දේශීය කාරණා කිහිපයක් බව පැහැදිලිය. වර්තමානය වනවිට 2016 වසරට කොළඹ කොටස් වෙළෙඳ පොළ 8% ක් පමණ පහළ වැටීමක් පෙන්නුම් කර ඇත. නමුදු, අනෙකුත් රටවල් හා සසඳන විට අපගේ කොටස් වෙළෙඳ පොළ යම් ආකාරයක යහපත් මට්ටමක සිටින බවද පැවසිය යුතුය. වර්ෂ 2016 අයවැය මගින් කොටස් වෙළෙඳ පොළට ලබාදුන් බොහෝ සහන ඇතත්, වර්තමානයේ පවතින ලෝක ආර්ථික අර්බුද හමුවේ එම යෝජනා තවමත් කොටස් වෙළෙඳ පොළට හිතකරව බලපා නොමැති බවද අපේ හැඟීමය. ඒ කෙසේ වෙතත්, කොටස් වෙළෙඳ පොළ දියුණු කිරීමට නම් සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතු බව අවසන් වශයෙන් අවධාරණය කළ යුතුව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd