සිව්වැනි දකුණු ආසියානු ප්‍රදර්ශනය (Kunming Exhibition) චීනයේ කුන්මින් නගරයේදී පසුගිය ජුනි 13 වැනිදා ආරම්භ කෙරිණි. දින හයක් (ජුනි 13 සිට 18) පුරා පැවැත්වෙන අතර, ලෝව පුරා විවිධ රටවලට අයත් අපනයනකරුවන් හා ගැනුම්කරුවන් විශාල ප්‍රමාණයක් ඒ සඳහා සහභාගී වී සිටිති.
කුන්මින් ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා මණ්ඩපය විවෘත කිරීම ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක ඉන්දිරා මල්වත්ත, එම මණ්ඩලයේ අලෙවි සංවර්ධන අංශයේ අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රේමතිලක යන මහත්වරුන්ද, මහත්මීන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
පෙර වසරවලට වඩා මෙවර කුන්මින් ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා නියෝජනය විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව, මෙරට අපනයනකරුවන් 100කට අධික පිරිසක් සහභාගී වී සිටින අතර, රාජ්‍ය ආයතන 06ක්ද ඒ අතර වන බව කුන්මින් ප්‍රදර්ශනයට සහභාගී වී සිටින ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනී ඉන්දිරා මල්වත්ත මහත්මිය පැවසුවාය.
වෙනත් වසරවලට වඩා වැඩි ගැනුම්කරුවන් පිරිසක් මේ වසරේ පැමිණෙමින් සිටින බවත්, ශ්‍රී ලාංකේය නිෂ්පාදන සඳහා ඔවුන්ගෙන් යහපත් වෙළෙඳ විමසීම් ලැබෙමින් පවතින බවත්, ප්‍රදර්ශනයට සහභාගී වී සිටින මෙරට අපනයනකරුවන් පවසති.