ආර්ථිකයේ ප්රමුඛ යාන්ත්‍රණය බවට පෞද්ගලික අංශය පත්කිරීමේ පහසුකම් හා බලය පවරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර රැසක ඉහළ තලයේ ප්‍රතිසංස්කරණ කිහිපයක්ම සිදුකිරීමට රජය සූදානම් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීම මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) දෙවැනි වාර්ෂික සමුළුවට සහභාගී වෙමිනි. මෙම සමුළුව පසුගියදා 16 සහ 17 යන දිනවල දකුණු කොරියාවේ ජේජු දූපත් හිදී පැවැත්වුණු අතර, අමාත්‍යවරයා සිය ධුරයේ වැඩභාර ගැනීමෙන් පසුව සිදුකළ ප්‍රථම නිල විදෙස් සංචාරය මෙයයි.
මෙහිදී, මුදල් අමාත්‍යවරයා ආසියානු යටිතල පහසුකම් ප්‍රමුඛතා සඳහා මුදල් සම්පාදනය සම්බන්ධයෙන් වූ අධිපතිවරුන්ගේ මණ්ඩලයේ වටමේස සාකච්ඡාවට සහභාගී වෙමින් දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘති හරහා සිදුවන ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පිළිබඳව අදහස් දක්වා තිබේ. එමෙන්ම, භෞතික යටිතල පහසුකම් සංවර්ධනයේදී රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන නැංවීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය හා නියාමන සහාය ලබාදීම පරිපාලන හා නෛතික රාමුවක් සමගම සිදුවිය යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර කලාපයේ අපනයන ආර්ථිකයක් සහ මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට රජයේ සැලසුම් කර ඇති බවත්, එය විවිධ ක්ෂේත්රවල පෙර නොවූවිරූ අවස්ථා නිර්මාණය කරමින් සිදුකෙරෙනු ඇති බවත් අමාත්‍යවරයා පවසා තිබේ. ඒ අනුව, මෙම ඉලක්ක ඉටුකර ගැනීම සඳහා ආර්ථිකයේ ප්රමුඛ යාන්ත්‍රණය බවට පෞද්ගලික අංශය පත්කිරීමේ පහසුකම් හා බලය පවරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර රැසක ඉහළ තලයේ ප්‍රතිසංස්කරණ කිහිපයක්ම සිදුකිරීමට රජය සූදානම් වන බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
නව වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්තියක් හඳුන්වාදීම, බදු ප්‍රතිසංස්කරණ සහ ආයෝජක වාතාවරණය නැංවීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගැනීම මේ අතර පවතින බවද හෙතෙම පවසා තිබේ.
මේ අතර, ලෝකය මේ වනවිට මුහුණදෙන ස්වභාවික විපත් සම්බන්ධයෙන්ද අදහස් දක්වා ඇති අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවද මීට දෙසතියකට පෙර මුහුණදුන් හදිසි ආපදා තත්ත්වය මතු කරමින් එවැනි කාලගුණික හෝ ආපදා තත්ත්වයන්ට ඔරොත්තු දෙන යටිතල පහසුකම් අනාගතයේදී ප්රමුඛ වැදගත්කමක් ලෙසද පෙන්වා දී තිබේ.