ඇමෙරිකානු ජනාධිපතිවරණය සම්බන්ධ උණුසුම මේ වනවිට ලොව පුරා ඉතා ප්‍රබල ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. එය මෙරට සමාජය තුළද පෙර අවස්ථාවලට වඩා කතාබහට ලක්වන මූලික කරුණක් බවටද පත්ව තිබේ. ඒ අනුව, මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සහ ඒ හරහා පත්වන අනාගත ජනපතිවරයා සම්බන්ධයෙන් ප්‍රවීණ විදෙස් පුවත් විශ්ලේෂක මොහාන් සමරනායක මහතාගෙන් 'අද' පුවත්පත විමසූ කරුණු ඇසුරින් මෙම ලිපිය සැකසෙයි.
නොවැම්බර් 08 වැනිදා එහෙමත් නැත්නම් අද පැවැත්වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා ඡන්ද විමසීමයි. ඇමෙරිකාවේ ව්‍යවස්ථාව අනුව එරට ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ වසර හතරකට වරක්. ඒ සඳහා දිනයක් නිශ්චිතවම නියම වෙලා තියෙනවා. ඒ තමයි වසර හතරකට පසු එළඹෙන අවුරුද්දේ නොවැම්බර් මාසේ පළමු වැනි සඳුදාට පසු ප්‍රථම අඟහරුවාදා මැතිවරණය පැවත්විය යුතුයි කියලා. මේ අවුරුද්දේ එය නොවැම්බර් 08 වැනිදාටයි.
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ රැසක් ඉදිරිපත් වෙලා තිබුණත්, ඉන් ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාව තියෙන්නේ හැමදාම සිදුවුණු විදියට ප්‍රධාන පක්ෂ දෙක වන ඩිමොක්රැටික් පක්ෂයේ සහ රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයෙකුටයි. ඩිමොක්රැටික් පක්ෂය නියෝජනය කරමින් හිටපු රාජ්‍ය ලේකම්වරියක වගේම හිටපු ජනපති බිරිඳක වුණු හිලරි ක්ලින්ටන් තරග කරනවා. රිපබ්ලිකන් අපේක්ෂකයා විදියට තරග කරන්නේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප්.
මෙවර ජනපතිවරණයේ විශේෂතා රැසක්
ජනාධිපතිවරණයේ විශේෂතා රැසක්ම තියෙනවා. එකක් තමයි මේ දක්වාම ජනපතිවරණයට ඉදිරිපත් වුණේ සහ ඉන් ජයග්‍රහණය කළේ ප්‍රාන්තයක ආණ්ඩුකාරවරයෙකු හෝ සෙනෙට් සභිකයෙකුයි. ඒත් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ කොටස් දෙකටම අයිති නැහැ. ඒ වගේම තමයි, හිලරි ජයගත්තොත් වසර 200ක ඇමෙරිකානු ඉතිහාසයේ ප්‍රථම කාන්තා ජනාධිපතිවරිය බවට පත්වෙන්නේ ඇයයි.
මේ මොන විශේෂතා තිබුණත් වඩාත් වැදගත් වෙන්නේ මෙවර ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපතිවරණය ලෝකයේ ආර්ථික, දේශපාලන, සාමාජීය තත්ත්වයට කොහොම බලපාවිද කියන කාරණාවයි. ඇමෙරිකාව කියන්නේ පැති ගණනාවකින්ම සුවිශේෂී, ප්‍රමුඛතම රාජ්‍යයක්. එය ලෝකයේ තෙවැනි විශාලම රට. ඔවුන් තමයි තවමත් අංක එකේ ආර්ථිකය. ඔවුන්ගේ වාර්ෂික ආර්ථික උත්පාදනයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 19 ක්. ඇමෙරිකාව ලෝකයේ හමුදා බලය අතින් අංක එකේ රාජ්‍යය. රුසියාව වුණත් කිට්ටුවට ආවට ඒ හා සමාන වෙන්නේ නැහැ. ඒ වගේම සංස්කෘතික, විද්‍යා, මාධ්‍ය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකින්ම අංක එකේ රාජ්‍යය ඇමෙරිකාවයි.
රටවල් 70ක ආණ්ඩු වෙනස් කිරීමට දුන් දායකත්වය
ඒ වගේම තමයි, තමන් බලවත් තත්ත්වයට පත්වූ දා සිට ලෝකයේ රටවල් පාලනය කිරීමට යොමුවුණු රටක් විදියටත් ඇමෙරිකාව හඳුන්වන්න පුළුවන්. උදාහරණයක් විදියට දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ විතරක් ඔවුන් ලෝකයේ රටවල් 70ක ආණ්ඩු වෙනස් කිරීමට දායක වී තිබෙනවා. ඒ නිසා මේ රාජ්‍යයේ නායකයා තෝරන ජනාධිපතිවරණය ඒ රටට වගේම ලෝකයටත් වැදගත්.
ආර්ථිකය පැත්තෙන් මේ වැදගත්කම ගැන කතා කළොත්, ඔවුන්ගේ ආර්ථිකය යහපත් නම් ශක්තිමත් නම් ඒක ලෝක ආර්ථිකයටත් ඍජුවම බලපානවා. මේ ආර්ථිකයේ පවතින දැවැන්ත සහ ශක්තිමත් බව මෙන්ම ගෝලීය ව්‍යාප්ත ස්වාභාවය නිසා ඒ සඳහා හේතුව වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, 2008 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථික කඩාවැටීමක් සිදුවුණා. අදටත් එය අවසන් නැහැ. එතැනදී ලෝකප්‍රකට දැවැන්ත ආයතන කඩා වැටුණා. ආණ්ඩුවට සිද්ධ වුණා, ඩොලර් මිලියන ගණනින් මේ ආයතනවලට යොදවන්නත්.
කඩා වැටෙන ඇමෙරිකානු ආර්ථිකය
මේ ආර්ථිකය කඩා වැටෙන කොට ඒක ඍජුවම ලෝක ආර්ථිකයට බලපානවා. උදාහරණයක් විදියට ඇමෙරිකාව සෞදි අරාබියෙන් විශාල ලෙස තෙල් ගන්නවා. ආර්ථිකය වැටෙන කොට මේ තෙල් මිලදී ගැනීම අඩුවෙනවා. ඒ නිසා සෞදියේ ආදායම අඩුවෙලා ඔවුන් සිදුකරන ආර්ථික කටයුතු අඩාල වෙනවා. ඒක ඍජුවම බලපාන්නේ අපේ වගේ රටවලින් ගිහිල්ලා ඉන්න සේවකයන්ටයි. ඇමෙරිකාවේ ව්‍යවහාර මුදල ලෝකයේ හුඟාක් රටවල සංචිත මුදල වගේම වෙළෙඳ ගනුදෙනු සඳහා යොදාගන්නා මුදල් ඒකකයයි. කියමනක් තියෙනවා ඇමෙරිකාවට සෙම්ප්‍රතිශ්‍යාව හැදුනොත් ඒක ලෝකයට උණසන්නිපාත තත්ත්වයක් වෙනවා කියලා.
අද ඇමෙරිකා එක්සත් ජනපදය තියෙන්නේ ආර්ථික වශයෙන් කඩා වැටෙමින් පවතින තත්ත්වයක. ට්‍රම්ප්ට හරි හිලරිට හරි භාරගන්න වෙන්නේ එවැනි රටක්. පසුගිය සියවසේ මැද වෙනකොට ඇමෙරිකාව තමයි ලෝකයේ කාර්මික නිපැයුමෙන් 50% ක් නිෂ්පාදනය කළේ. ඒත් අද වෙනකොට එය 22% දක්වා කඩා වැටිලා තියෙනවා. ඒ වගේම තමයි, අද වෙනකොට ලෝකයේ වැඩිම ණයගැතිභාවයක් තිබෙන රටක් විදියටත් ඇමෙරිකාව සැලකෙනවා. ඔවුන් චීනය සහ තවත් රටවල් රැසකටම ඩොලර් ට්‍රිලියන ගණනින් ණයයි. මේ සියල්ලම හරහා පැහැදිලි වෙන්නේ ඇමෙරිකානු එක්සත් ජනපදයේ ආර්ථිකය එක තැන පල්වෙන තත්ත්වයක්. මේ තත්ත්වය අද ඊයේ නෙමෙයි, 1972 වසරේ ඉඳන්ම පවතිනවා. ඒත් මේ පල්වීම ධනේෂ්වර ආර්ථිකවල නිරන්තරයෙන් හටගන්නා උත්පාතයක් එහෙමත් නැත්නම් එක ක්ෂේත්රයක එක්වරම සිදුවන පිබිදීමක් නිසා යම් තරමකින් වැළැකෙනවා. 2005 සිට 2007 කාලය දක්වාම එහෙම දෙයක් වුණේ ඇමෙරිකානු නිවාස ඉදිකිරීම් ක්ෂේත්රය තුළයි.
බහුජාතික සමාගම් මත රඳා පවතින ඇමෙරිකාව
ඒ නිසා මෙවර ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් දිනුවත්, හිලරි දිනුවත් මෙන්න මේ ආර්ථික කඩා වැටීමට මුහුණ දෙන්න ඔවුන්ට සිදුවෙනවා. නමුත් මෙතැන තියෙන ප්රශ්නය තමයි, ඇමෙරිකානු එක්සත් ජනපද ආර්ථිකය සකස් වෙලා තියෙන විදියට එය රඳා පවතින්නේ මෙගා ධනපති බහුජාතික සමාගම් අතලොස්සක් අතෙහි වීම. ලෝකයේ අංක එකේ ආර්ථික බලවතා වුණත්, ආර්ථික වශයෙන් ප්‍රබල විෂමතාවක් පවතින රටක් විදියට ඇමෙරිකාව සැලකෙනවා. උදාහරණයක් විදියට ඇමෙරිකාවේ ජාතික ආදායමෙන් 50% ක්ම අයිති වෙන්නේ 1% ක් දෙනාටයි.
ට්‍රම්ප් ආවත්, හිලරි ආවත්, ඔබාමා ආවත් මේ ව්‍යුහය වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. ඇමෙරිකාවේ මාධ්‍යවලින් මේ කතා එළිකරන්නේ නැහැ. ඔවුන් පෙන්වන්නේ හිලරිගේ ඊමේල් ගැටලුව, වයස, හෘදයාබාධ ගැන, ට්‍රම්ප්ගේ අසෝභන හැසිරීම් ගැන විතරයි. ඒත් ප්රශ්නය තියෙන්නේ වෙන තැනක. ඩිමොක්රැටික් ජනපති අපේක්ෂකත්වය ගන්න හිලරිත් එක්ක තරග කරපු බර්නි සෑන්ඩර්ස් වරෙක ප්‍රකාශ කරලා තිබුණා, 'ඇමෙරිකාවේ ජනාධිපතිවරණයේ කවරෙක් දිනුවත්, රට පාලනය කරන්නේ ඒකාධිකාරී ප්රාග්ධනය හිමි බහුජාතික සමාගම් කිහිපයක්' කියලා.
ජයග්‍රාහකයා උග්‍ර ධනේශ්වරයෙක්
මේ සමාගම්වලට ඕනේ ඔවුන්ගේ ලාභය වැඩි කරගන්න. කවුරු ආවත් මේ අපේක්ෂාවට පටහැනිව යන්න ඔවුන්ට ඉඩකුත් නැහැ. ඉඩක් ලැබෙන්නේත් නැහැ. අනෙක් කාරණය තමයි, මේ දිනන අපේක්ෂකයොත් ඒ පන්තියටම අයත් අය වීම. ට්‍රම්ප් වගේම හිලරිත් හොඳ ධනවතුන්. ට්‍රම්ප් අයිතිවෙන රිපබ්ලිකන් පක්ෂය උග්‍ර ධනේශ්වර පක්ෂයක්. ඩිමොක්රැටික් පක්ෂය විතරයි, තරමක් හෝ ලිබරල් මත තියෙන්නේ. උදාහරණයක් විදියට කිව්වොත් ඔබාමා ප්‍රථම කළු ජාතික ජනපති විදියට ජයගන්නේ 2008 වසරේදීයි. ඔහු ප්රගතිශීලී ලිබරල් අදහස් තියෙන පුද්ගලයෙක්. බොහෝ දෙනා විශ්වාස කළා ඔහු වෙනසක් කරාවි කියලා. ඒත් පවතින ක්‍රමය විසින් ඒ සියල්ල අසාර්ථක කළා.
ඉතිං මේ පවතින ආර්ථික අර්බුදයට පිළියම් හොයන්න ඔවුන් හදන්නේ වෙනත් ක්‍රියාමාර්ග හරහායි. දුප්පතුන්ට දෙන සහන කප්පාදු කිරීම, සෞඛ්‍ය අධ්‍යාපනයට යොදවන මුදල් අඩු කරන්න වගේ දේවල් ඔවුන් අත්හදා බලනවා. ට්‍රම්ප් වුණත් විශ්වාස කරනවා එරට ඉන්න සංක්‍රමණිකයන් ආපසු යවන්න. ඊළඟට මුස්ලිම්වරුන් ඇමෙරිකාවෙන් පන්නන්න. මෙක්සිකෝව හරහා තාප්පයක් ඉදිකරන්න. ඒත් මේ සියලුම දේවල් ප්‍රායෝගික නැහැ.
බලහත්කාරී වෙළෙඳ ගිවිසුම් වෙත යාම
මේ ආර්ථික ප්‍රතිපත්තිය යටතේ ඔවුන් මේ වෙනකොට ඔවුන් සැලසුම් කරලා තියෙනවා ලෝකයේ රටවල් ගණනාවක් වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළු කරගන්න. ඉන් එකක් තමයි අන්තර් අත්ලාන්තික් ආයෝජන සහ වෙළෙඳ ගිවිසුම, අනෙක තමයි අන්තර් පැසිපික් ආයෝජන සහ වෙළෙඳ ගිවිසුම කියන්නේ. මේවාට ලෝකය හවුල්කරගන්න ඔවුන් උත්සාහ කරනවා. මේ හරහා අනෙක් රටවලටත් වාසි වෙනවා කියලා ඔවුන් පෙන්වන්න හදනවා. ඒත් අවසානයේදී වාසි වෙන්නේ ඇමෙරිකාවට. උදාහරණයක් විදියට මේ ගිවිසුම්වලට ඉන්දියාවට එක් වුණොත් ඉන්දියාවේ ආර්ථිකය කඩා වැටෙනවා.
ඒ වගේම තමයි, කවුරු බලයට ආවත් ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නැහැ කියන දේ. ඡන්ද ව්‍යාපාරයේදී ට්‍රම්ප්, ජොර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ ඉරාක ආක්‍රමණය විවේචනය කළත් බලය ආවොත් ඔහුට වැඩ කරන්න වෙන්නෙත් ඒ විදියටම තමයි. මොකද මේ ක්‍රමය ඇතුළේ ඔහුට ඒ දේ කරන්න දෙන්නේ නැහැ.
හිලරිගේ පූටින් භීතිකාව
හිලරි ක්ලින්ටන් ගත්තත් ඇය උත්සාහ කරනවා ඇමෙරිකාවේ අර්බුදය වෙනත් රටවල් මතට පටවන්න. ඔවුන් එදා සිටම සිතපු දෙයක් තමයි ලෝකය පාලනය කරන්න ඕනේ තමුන්ය කියන දේ. ඊට හරහට කවුරු හෝ එනවා නම් එම රටට ප්‍රහාර එල්ල කරලා, යටත් කිරීමට උත්සාහ කරනවා. ඊට අමතරව එම රටවල පවතින ආණ්ඩු වෙනස් කරවනවා. ලිබියාවේ ගඩාෆි ඝාතනය කරලා ලිබියාව දැන් තියෙන අවුලට පත් කරන්න හිලරි රාජ්‍ය ලේකම්වරිය විදියට මූලික දායකත්වය ලබාදුන්න කෙනෙක්. ප්රජාතන්ත්රවාදය ඇති කරන්න කියලා ඔවුන් ඒ කළ විනාශයෙන් ලිබියාව අද කෑලි තුනකට කැඩිලා. ගඩාෆි මරන කොට ලිබියාවේ තිබුණා ඩොලර් බිලියන 150ක විදේශ වත්කම්. අද එකක්වත් නැහැ.
අද වෙනකොට හිලරි ඇතුළු පිරිස එරට ජනතාවට පෙන්වන තවත් බිල්ලෙක් ඉන්නවා. ඒ තමයි රුසියානු ජනාධිපති පූටින්. ඇය බලයට ආවොත් රුසියාවේ මේ පාලනයත් පෙරලීම තමයි අපේක්ෂාව වෙලා තියෙන්නේ. ඒත් ඒක හිතන තරම් ලේසි නැහැ. හිලරි වුණත් පූටින්ට කියන්නේ 'අලුත් හිට්ලර්' කියලයි. හිලරි ජනපති වුණොත් රටේ තියෙන මේ අර්බුද සහ දුර්වලකම් සියල්ලම වහගන්න රුසියාවත් එක්ක ගැටුම් ඇතිකරගනීවි කියලා විචාරකයෝ බොහෝ අදහස් පළ කරනවා. මෙතැනදී ඇතිවෙන්නේත් න්‍යෂ්ටික යුද්ධයක්. ඒ නිසා එය මිනිස් සංහතියේ විනාශයේ මුල බවටත් පත්වේවි.
අපි කතා කරන මෙන්න මේ ස්ථානයේ තමයි ඇමෙරිකානු ජනාධිපතිවරණය අද දවසේ තියෙන්නේ. මෙහි කවුරු ජයග්‍රහණය කළත්, වැඩ ශෛලිය වෙනස්වීමක් මිස මූලික ආර්ථික, දේශපාලනික, සාමාජීය ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නත් බැහැ. එහෙම වෙන්න නම් ඇමෙරිකාවේ නිර්මාණය වී තිබෙන මේ දේහය තුළ රැඩිකල් පරිවර්තනයක් සිදුවිය යුතුයි.