ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ ප්රමුඛ ප්‍රදර්ශනයක් ලෙස සැලකෙන 'කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ 2017', ඉදිකිරීම් සහ ගොඩනැගිලි ක්ෂේත්රයේ සියලු අංශ ආවරණය කරමින්, පසුගිය ජූනි 02 සිට 04දා දක්වා කොළඹ, BMICH හි සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී සාර්ථකව පවත්වා තිබුණි.
මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම ප්‍රදර්ශනය මගින් භාණ්ඩ හා සේවා ප්‍රදර්ශනය කෙරුණු අතර, සහභාගී වූවන්ට ඉදිකිරීම් ක්ෂේත්රයේ සියලුම පාර්ශ්වකරුවන් සහ ප්රමුඛ පෙළේ සේවා සම්පාදකයන් හමුවීමටද අවස්ථාවක් හිමිවූ බව ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති ආචාර්ය රොහාන් කරුණාරත්න මහතා පැවසීය.
අඛණ්ඩව හයවැනි වරටත් පැවැත්වුණු 'කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ' ප්‍රදර්ශනය මෙවරද, ක්ෂේත්රයේ නවතම ප්රවණතා සහ සුවිශේෂීම භාණ්ඩ හා සේවා විදහා දක්වනු ලැබීය. එහිදී, කෙටි කාලීන පසුබෑමකින් පසු නැවත ශීඝ්‍ර වර්ධනයක් අත්කර ගනිමින් පවතින ඉදිකිරීම් ක්ෂේත්රය තුළ නව ප්රවණතා සහ තාක්ෂණය ප්‍රචලිත කිරීමට පිටුවහලක් වූ මෙවර ප්‍රදර්ශනය 'හරිත ශ්‍රී ලංකාවක් කරා' යන තේමාවෙන් යුතුව පැවැත්වීමද විශේෂත්වයකි.
මෙවර ප්‍රදර්ශනයට ඉදිකිරීම් සැපයුම්, ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ, ඉදිකිරීම් තාක්ෂණය, ඉදිකිරීම් අමුද්‍රව්‍ය, ඉදිකිරීම් සේවා, ගොඩනැගිලි ද්‍රව්‍ය, ගොඩනැගිලි සැපයුම්, ගොඩනැගිලි සංවර්ධන සේවා, සිමෙන්ති, වැලි, ගඩොල් සහ ප්ලයිවුඩ් යනාදී අංශ ආවරණය වන පරිදි ප්‍රදර්ශකයන් සහභාගී වී සිටියහ.