දිවයිනේ ප්‍රදේශ රැසකට පසුගිය දින කිහිපය පුරා පැවති අයහපත් කාලගුණය හේතුවෙන් මෝටර් රථ රැසක් ගංවතුර හා වැසි ජලයට හසුවී ඇති ආකාරය අපට දැකගත හැකි විය. මෙහිදී, බොහෝ විට ගංවතුරේ ගමන් කිරීමට ගොස් ඇතැම් මෝටර් රථ අතරමග නතර වන ආකාරයත්, ඒවා යළි පණගැන්වීමට උත්සාහ කරන ආකාරයත්, ඇතැම්විට වාහන නොපෙනී යන තෙක්ම ජලයෙන් යටවී ඇති ආකාරයත් විවිධ තැන්වලදී දැකගත හැකි විය.
ඒ අනුව, ඔබේ වාහනයත් පසුගිය දිනවල ගංවතුරට හසුවූයේ නම්, එම වාහන සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ඇසෝසියේටඩ්ස මෝටර්වේයිස් සමාගමේ (නිසාන්) සහකාර සාමාන්‍යාධිකාරී ප්‍රදීප් විජේරත්න මහතාගෙන් අපි මෙසේ විමසා සිටියෙමු.
"සාමාන්‍යයෙන් වාහනයක එයාර් ක්ලීනර් එකට හා සයිලන්සරයට වඩා පහළින් ජලය පවතින තැනකදී වාහනයක් එම ජල පහරේ ගමන් කිරීමෙන් කිසිදු ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. ඒ වගේම, සයිලන්සරයට වඩා ඉහළින් ජලය ඇති ජල පහරක වුවත් වාහනයක් ගමන් කළ හැකියි. නමුත්, මේ අවස්ථාවේදී වාහනය එම ජල පහරේ අතරමග නතර වූයේ නම්, යළි එම ස්ථානයේදී වාහනය පණ ගැන්වීම කිසිසේත්ම නොකළ යුතුයි. මෙසේ ජල පහරක ගමන් කරන විට වායු සමීකරණය ක්‍රියාවිරහිත කර ගමන් කරවීමටත් වගබලා ගත යුතුයි. මන්දයත්, ඒ ඔස්සේ ජලය ඇතුළට ඇද ගන්නවා. ඒ වගේම, එයාර් ක්ලීනර් එකට ඉහළින් ජලය ගියොත්, එම අවස්ථාවේදීත් ජලය ඇතුළට ඇද ගැනීම අනිවාර්යයෙන්ම සිදුවෙනවා. යම් විදියකින් සයිලන්සරයට වඩා ඉහළින් ජලය ඇති අවස්ථාවක වාහනය ධාවනය කරවා, අතරමග නතර වී යළි වාහනය පණ ගැන්වූයේ නම්, එන්ජිමේ සිලින්ඩරවලටත් ජලය ගමන් කිරීමෙන්, වාහනයේ එන්ජිම හිරවීමක් සිදුවෙනවා.
මෙවැනි අවස්ථාවක සිදුකළ යුතු වන්නේ එම වාහනය තල්ලු කර ජල පහරින් ඉවතට ගැනීමයි. එසේම, වාහනය සැලකිය යුතු ප්‍රමාණයක් ජලයේ ගිලී ගියේ නම්, යළි එය පණ ගැන්වීමට උත්සාහ නොකර පැටවුම් වාහනයක ආධාරයෙන් එය ගරාජයකට හෝ සේවා ස්ථානයට රැගෙන යා යුතුයි. එහිදී, එන්ජිමට ජලය ගොස් ඇතිදැයි කාර්මිකයන් ලවා මනා පරීක්ෂාවකට ලක්කර, ජලය රැඳී ඇති වයර් හානස්, කනෙක්ටර් ආදී ඉලෙක්ට්‍රොනික් පරිපථ එයාර් ප්‍රෙෂර් හෝස් එකක් මගින් හොඳින් වියළා ගත යුතුයි.
ඊට අමතරව ගංවතුරට සම්පූර්ණයෙන් හසුවී දින කිහිපයක් ගංවතුරේ පැවති වාහනයක් නම් එම වාහනය පැටවුම් වාහනයක් ආධාරයෙන් ගරාජයකට හෝ සේවා ස්ථානයට රැගෙන යා යුතුයි. එහිදීත්, එන්ජිමට ජලය ගොස් ඇතිද යන්න හොඳින් පරීක්ෂා කර බැලිය යුතුයි. යම් ලෙසකින් එන්ජිමට ජලය ගොස් නැති බව තහවුරු වුවහොත්, එන්ජිම ගැලවීමකින් තොරව ඔයිල් යොදා එන්ජිම සෝදා ගැනීම කළ හැකියි. අනතුරුව, වාහනය හොඳින් සුද්ද කර පෙට්‍රල් හෝ ඩීසල් අලුතින්ම දාන්න ඕනෙ. මොකද ඒවාටත් ජලය ගිහිල්ල තියෙන්න පුළුවන්. ඒ වගේම එයාර් ක්ලීනර් ෆිල්ටර්, එයාර් ෆිල්ටර්, ඩීසල් ෆිල්ටර්, ඔයිල් ෆිල්ටර් ආදී සියලු ෆිල්ටර් අලුතින් දාන්න වෙනවා. ඒ සියල්ල දැමීමෙන් පසුව අලුතින් ඔයිල් යෙදීම කළ යුතු වෙනවා.
නමුත්, ගංවතුරට හසුවූ වාහනයක් පණ ගැන්වූයේ නම් අනිවාර්යයෙන්ම එහි එන්ජිම ගැලවීමට සිදුවෙනවා. ඒ වගේම වාහනයේ ඉලෙක්ට්‍රොනික් කොටස් සියල්ල හොඳින් වේලාගැනීමට සිදුවෙනවා. එතනදි, වයර් හානස්, කනෙක්ටර්, විදුලි ලාම්පු ආදියේ රැඳී ඇති ජලය පෙර පරිදිම එයාර් ප්‍රෙෂර් හෝස් එකක් මගින් වියළා ගැනීම කළ යුතුයි. මොකද, ජලය නොතිබුණත්, ජල වාෂ්ප හෝ ඒවායෙහි රැඳී තිබීමෙන් පරිපථ බිඳීමක් සිදුවිය හැකියි. මේ සමස්ත ක්‍රියාවලියෙන් පසුව ඔබේ වාහනය පෙර පරිදිම යථා තත්ත්වයට ගැනීමට පුළුවන්. මේ සියලු කාරණා ඔබේ ගරාජයේ හෝ වාහන සේවා ස්ථානයේ පළපුරුදු කාර්මිකයන් ලවා පරීක්ෂා කරගැනීමෙන්ම සිදුකර ගැනීමටද වගබලා ගත යුතුයි."