දකුණු ආසියානු ව්‍යාපාර වස්තු හුවමාරු සම්මේලනය හා කොළඹ කොටස් වෙළෙඳ පොළ එක්ව සංවිධානය කළ 'දකුණු ආසියානු ආයෝජන සමුළුව - 2015' පසුගිය අප්‍රේල් 27 වැනිදා කොළඹ ගලධාරි හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්විය. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුවේ තවත් සුවිශේෂී ආරාධිතයෙකු ලෙස සහභාගි වූ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්න මහතා නියාමන කාර්යභාරය හා වර්තමාන ප්‍රාග්ධන වෙළෙඳ පොළ වාතාවරණය පිළිබඳව මෙහිදී විග්රහයක නිරත විය.
නියාමකයෙකු ලෙස වර්තමාන නීතීන් හි ඇති අඩුලුහුඬුකම් කොමිෂන් සභාව විසින් හඳුනාගෙන ඇති බවත්, ඒ පිළිබඳව ඉදිරියේදී කටයුතු කරමින් ප්‍රාග්ධන වෙළෙඳ පොළෙහි සංවර්ධනය සඳහා ලබාදිය හැකි උපරිම සහාය රාජ්‍ය අංශය ලෙස ලබාදීමට කටයුතු කරන බවත් එම විග්රහයේදී සභාපතිවරයා පවසා සිටියේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ තිලක් කරුණාරත්න මහතා,
"කලාපීය ප්‍රාග්ධන වෙළෙඳ පොළෙවල් අතර ශක්තිමත් බැඳීමක් නිර්මාණය කිරීම හා එතෙර ලැයිස්තුගත කිරීම් සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මගින් කලාපීය ආර්ථික බැඳියාව වේගවත් කිරීම අරමුණු කරගත් මෙම දකුණු ආසියානු ආයෝජන සමුළුව ඇමතීමට ලැබීම විශාල සතුටක් ලෙස මා දකිනවා.
වසර දෙකකට පසු කොළඹ කොටස් වෙළෙඳ පොළ හා ඒකාබද්ධව දකුණු ආසියානු ව්‍යාපාර වස්තු හුවමාරු සම්මේලනය මෙම සමුළුව සංවිධානය කිරීම සම්බන්ධයෙන් මගේ සුභ පැතුම් පිරිනමනු ලබනවා.
වර්තමානය වනවිට බටහිර රටවල්වලට සීමා වූ ධනය ආසියාව දෙසට ගමන් කිරීම හා භූ දේශපාලනික හේතූන් නිසා කලාපය තුළ ද්විපාර්ශවීක හා බහුපාර්ශවීක ගනුදෙනු තුළින් ඉහළ ආර්ථික බැඳියාවක් පවතිනවා. ඉන්දියාව විසින් ආර්ථික හා සමාජීය වශයෙන් චීනය අභිභවා යෑම ඉදිරියේද සිදුවිය හැකි බව ඇස්තමේන්තු කර තිබෙනවා. අප දන්නා පරිදි සැබෑ ආර්ථිකය යනු මූල්‍ය ආර්ථිකයේ කැඩපත් රූපයක් බව කිව යුතුයි. ඒ නිසා තිරසාර ආර්ථික ප්‍රගතිය වේගවත් වන්නේ සැබෑ සහ මූල්‍ය ආර්ථික සංවර්ධනයන්ගේ බැඳීමක් ඇති විටයි. ඒ නිසා මෙම සමුළුව කාලානුරූපී ක්‍රියාමාර්ගයක් බව සනිටුහන් කිරීමට පුළුවන්.
එහිදී, සමාගම්වලට අවශ්‍ය මූල්‍ය සම්පාදනය සඳහා ඉතුරුම් යොමු කරන ආර්ථික වර්ධනය තුළ වඩාත් බලවත් අංගයක් ලෙස ප්‍රාග්ධන වෙළෙඳ පොළ හඳුනා ගන්නවා. ප්‍රාග්ධන වෙළෙඳ පොළ ඉතා වැදගත් වන සංකීර්ණ භූමිකාව පිළිබඳ අවබෝධ කරගත්තද බොහොමයක් නැගී එන ආර්ථිකවලට ශක්තිමත් සහ කාර්යක්ෂම ප්‍රාග්ධන වෙළෙඳ පොළක් සංවර්ධනය කිරීම ඉතා අපහසු කාර්යයක් වී තිබෙනවා. කෙසේ වෙතත් කලාපයේ ප්‍රාග්ධන වෙළෙඳ පොළවල් ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කළ යුතුයි.
1875 දී ස්ථාපිත කළ බොම්බේ ව්‍යාපාර වස්තු හුමවාරුව ආසියාවේ පළමු වැනි කොටස් වෙළෙඳ පොළ වෙනවා. ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළ කටයුතු ආරම්භ වන්නේ 1896 දීයි. මෙම ව්‍යාපාර වස්තු හුවමාරු ඇතුළුව අනෙකුත් වෙළෙඳ පොළවල් ඉතා ශක්තිමත් වන අතර, ගෝලීයව ඉතා එලදායී වෙළෙඳ පොළවල් ලෙස සකස් වී තිබෙනවා. ඉන්දියාවේ ජාතික කොටස් වෙළෙඳ පොළේ හා බොම්බේ කොටස් වෙළෙඳ පොළේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.6 ඉක්මවනවා. ඊට පිටුපසින් පකිස්තානයේ හා ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය පිළිවෙළින් ඇමෙරිකානු ඩොලර් බිලියන 72.8ක් හා ඇමෙරිකානු ඩොලර් බිලියන 21.5ක් වෙනවා. කෙසේ වෙතත් අප කිසිවෙකුටත් තවදුරටත් තනිව සිටීම සිදුකළ නොහැකියි. ගෝලීය අරමුදල් ගෙන්වා ගත හැකි පරිදි අපගේ වෙළෙඳ පොළවල් වර්ධනය කළ යුතුයි.
ආයෝජනය සඳහා වඩාත් ලාභදායී කලාපයක් ලෙස දකුණු ආසියාව ප්‍රවර්ධනය කරන අතරතුර ඒ සඳහා උපකාරී වන ශක්තිමත් නියාමන පරිසරයක් තිබීම අඩු තක්සේරු නොකළ යුතුයි. වර්ධනය සඳහා බාධාවක් වූ බටහිර මෙන්ම ආසියානු ආර්ථික අර්බුදවලට හේතුවක් වන්නේද මූල්‍ය වෙළෙඳ පොළ සංවර්ධනය වීමත් සමග පැවති නියාමන පරිසරවල දුර්වලතා බව කිව යුතුයි.
ඒ නිසා ප්‍රාග්ධන වෙළෙඳ පොළ සංවර්ධනය සමග නියාමකවරුන්ද ඒ කාලයට ඔබින ලෙස වෙනස් විය යුතුයි. පහළ මට්ටමේ පුද්ගලයන් පවා මේ ශීඝ්‍ර වෙනස්කම (එතෙර ලැයිස්තුගත කිරීම් ආදී) හා නිෂ්පාදිත නවෝත්පාදන වැනි දෑ පිළිබඳ අවබෝධ කරගැනීම අපට ඉතා වැදගත් වෙනවා. අප අතර වූ අවදානම් සාධක මෙන්ම නියාමන පරිසරවල වෙනස්කම් පිළිබඳව ඉතා සියුම් ලෙස අධ්‍යයනය කළ යුතුයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කළ ප්‍රාග්ධන වෙළෙඳ පොළෙහි ශීඝ‍්‍ර‍්‍ර වෙනස්කම් සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. ශ්‍රි ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සිදුකළ යුතු ප්‍රධාන නීති වෙනස්කම් හඳුනාගෙන ඇති අතර, ජාත්‍යන්තර ප්රමිතීන් හා ගලපමින් සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත උසස් කිරීමේ ක්‍රියාවලියේ යෙදී සිටිනවා.
කොළඹ කොටස් වෙළෙඳ පොළ අසාමූහීකරණය (කොටස් වෙළෙඳ පොළ සාමාජිකයින්ට අයිති ආයතනයක සිට කොටස් හිමියන්ට අයිති ආයතනයක් ලෙස වෙනස් කිරීම) කලක සිට කතාබහ කරන දෙයක් බව කිව යුතුයි. මේ වනවිට අසාමූහීකරණ සඳහා වන පනතේ කටයුතු අවසන් කර ඇති අතර පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත යුතුව තිබෙනවා.
ප්‍රාග්ධන වෙළෙඳ පොළෙහි පවතින අවදානම අවම කිරීම සඳහා මධ්‍යම ප්රතිපාර්ශවකරුවකු (ගැනුම්කරුට විකුණුම්කරු ලෙසත් විකුණුම්කරුට ගැණුම්කරුවකු ලෙසත් කටයුතු කරන මධ්‍ය පාර්ශ්වයක්) හඳුන්වාදීමේ වැදගත්කම ශී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව හඳුනාගෙන තිබෙනවා. එය සැබෑවක් කරගැනීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මහ බැංකුව හා කොළඹ කොටස් වෙළෙඳ පොළ කටයුතු කරමින් සිටිනවා. එම ව්‍යාපාරය සඳහා කළමනාකරණ සේවා සපයන්නේ ගෝලීය වශයෙන් ප්‍රාග්ධන වෙළෙඳ පොළ සම්බන්ධ කටයුතුවල නියුතු උපදේශන ආයතනයකුයි.
අපගේ ඒ ඒ වෙළෙඳ පොළවල්වලට ආවේනික ලක්ෂණ සහ එකිනෙක ජාතීන්ගේ සෛරීභාවය ආරක්ෂා කරමින් බද්ධ නියාමන ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම මා නැවත නැවතත් ප්‍රකාශ කර සිටිනවා. ඒ ඒ සංවර්ධන මට්ටම්වල ඇති අපගේ වෙළෙඳ පොළවල් සඳහා මෙය ඉතා අපහසු කාර්යයක් බවද පැවසිය යුතුයි.
සුරැකුම්පත් නියාමනයේ සාමාන්‍ය අරමුණු (ආයෝජකයින් ආරක්ෂා කිරීම, සාධාරණ බව උසස් කිරීම, විනිවිදභාවය හා එලදායීත්වය ඉහළ දැමීම සහ පද්ධති අවදානම් අවම කිරීම) මෙන්ම එතෙර සුරැකුම්පත් නීතී බලාත්මක කිරීම සඳහා මින් ඊට පහසුකම් සැපයීම, එලදායී බදු ක්‍රමයක් හඳුන්වාදීම සහ අනෙකුත් සේවා (අවශ්‍ය යටිතල පහසුකම්) අන්තර්ජාතික වෙළෙඳ පොළ සහභාගීකරුවන් සඳහා වූ නියාමන සංගතභාවය උසස් කිරීම වැනි දෑ සඳහා ද්වීපාර්ශ්වික හා බහුපාර්ශ්වික උත්සාහයන් කලාපයේ නියාමකයන් සිදුකළ යුතුයි. මෙම සමුළුවේ සාර්ථකත්වය සඳහා මාගේ සුභාශිංශන අවසන් වශයෙන් පිරිනමා සිටිනවා." යැයි පවසා සිටියේය.