ශ්‍රී ලංකාවට සහන මිලක් යටතේ තෙල් ලබාගැනීම සම්බන්ධයෙන් කළ ඉල්ලීමට ඉරාන රජයෙන් යහපත් ප්‍රතිචාර හිමි වූ බවත්, මේ සම්බන්ධයෙන් ඉදිරියේදී දෙරට අතර සාකච්ඡා පවත්වන බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
දිවයිනට පැමිණි සිටින ඉරාන බලශක්ති අමාත්‍ය හමීඩි චිට්චිආන් මහතා ඇතුළු දූත පිරිස සමග පසුගිය 23දා පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ ය.
දෙරට අතර වෙළෙඳ කටයුතු ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ඉකුත් සමයේ ඉරාන රජයෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය සිහිපත් කළ රවි කරුණානායක මහතා ඒ සම්බන්ධයෙන් ඉරාන රජයට ප්‍රසාදය පළ කළේ ය. ශ්‍රී ලංකාව අලුත් ගමනක් අරඹා ඇති බැවින් ඊට ඉරාන රජයේ සහායද අපේක්ෂා කරන බව හෙතෙම කියා සිටියේය. මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට සහන මිලකට තෙල් ලබාදෙන ලෙස කරුණානායක මහතා ඉරාන රජයෙන් ඉල්ලීමක් කළ අතර, ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලැබී තිබේ.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේ, “පසුගිය සමයේ යම් යම් සිදුවීම් සමග ඇණහිට තිබුණු වෙළෙඳ සබඳතා යළි ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අපි මෙහිදී සාකච්ඡා කළා. විශේෂයෙන් අන්තර් වෙළෙඳ කටයුතු පිළිබඳ අවධානය යොමු කෙරුණා. අපේ තේ, මිල දී ගන්නව වගේ ම, ඉරාන තෙල් සහන මිලට ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා. ඉරාන රජයෙන් ඊට සුබවාදී ප්‍රතිචාර තමයි හිමි වුණේ. ” යනුවෙනි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති මොහොමඩ් සෙයිරි අමිරානි, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.