ශ්‍රී ලංකාවේ දුම්රිය අංශය සංවර්ධනය කිරීම සඳහා ඇ.ඩො.මිලියන 318 ක (රු.මිලියන 48,000ක පමණ) ණය මුදලක් ලබාදීම වෙනුවෙන් වූ ගිවිසුමකට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තබා ඇත.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා 2015 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ කළ ප්‍රථම නිල සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ දුම්රිය අංශ සංවර්ධනය කිරීම වෙනුවෙන් මෙම ණය ආධාර මුදල ලබාදීමට පොරොන්දු විය. ඉන්දීය රජය දැනටමත් ශ්‍රී ලංකාවේ දුම්රිය පද්ධතිය දියුණු කිරීම සඳහා ණය ආධාර හතරක් ලබාදී ඇති අතර, එක්සිම් බැංකුව හරහා එලෙස ලබාදී ඇති ණය මුදල ඇ.ඩො.මිලියන 966 ට ආසන්න වේ.
මෙම ණය ආධාර යොදාගෙන දකුණු සහ උතුරු දුම්රිය මාර්ග වැඩිදියුණු කිරීමට කටයුතු යොදා ඇති අතර, ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා දුම්රිය එන්ජින් මිලට ගැනීමට කටයුතු කර ඇත.
ඉහත ණය ආධාර යෝජනා ක්‍රමය සඳහා වූ ගිවිසුමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පසුගිය 06දා අත්සන් තබා ඇත්තේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සහ ඉන්දියානු අපනයන හා ආනයන බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ ඩේවිඩ් රස්කුවින්න යන මහත්වරුන් විසිනි.ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර, ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් අරින්දම් බච්, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ප්‍රියන්ත රත්නායක සහ දෙරටේ අනෙකුත් නිලධාරී පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබේ. ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ඇති බව කියයි.