කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් හිඟයෙන් කොටසක් මූල්‍යනය කිරීම සඳහා අරාබි සංවර්ධනය සඳහා කුවේට් අරමුදල (KFAED) විසින් වසරකට 1.5% ක පොළී අනුපාතයක් යටතේ කුවේට් ඩිනාර් මිලියන 5ක් (ආසන්න වශයෙන් ඇ.ඩො.මි.16.5ක) අතිරේක ණය මුදලක් ලබාදීමට එකඟ වී තිබේ.
සෞදි සංවර්ධන අරමුදල(SED), අරාබි සංවර්ධනය සඳහා කුවේට් අරමුදල (KFAED) සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඔපෙක් අරමුදල (OFID) යන සංවිධානවල මූල්‍ය සහාය ඇතිව කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබයි. මෙම යෝජිත කළු ගඟ ජලාශයේ ජල ධාරිතාව ඝන මීටර් මිලියන 265ක් වන අතර, ඉන් ඝන මීටර් මිලියන 100ක් වාර්ෂිකව මොරගහ කන්ද ජලාශයට හැරවීමට හැකිවන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය සඳහා වූ අපේක්ෂිත වියදම බලාපොරොත්තු නොවූ භූ විද්‍යාත්මක තත්ත්ව ඇතුළු විවිධ හේතූන් මත සිදුකරන ලද සැලසුම් සංශෝධන නිසා ඉහළ ගොස් ඇති බැවින් ඉහත පාර්ශ්වකරුවන් විසින් සපයන ලද අරමුදල් මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන ඇති බවද මුදල් අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, කුවේට් අරමුදල විසින් අරමුදල් හිඟයෙන් කොටසක් මූල්‍යනය කිරීම සඳහා වර්ෂයකට 1.5% ක පොලී අනුපාතයක් යටතේ කුවේට් ඩිනාර් මිලියන 5ක (ආසන්න වශයෙන් ඇ.ඩො.මිලියන 16.5ක) අතිරේක ණය මුදලක් ලබාදීමට එකඟ වී ඇත. මෙම ණය මුදලේ නැවත ගෙවීමේ කාලසීමාව වර්ෂ 22ක් බවත්, මෙම ව්‍යාපෘතිය සඳහා කුවේට් අරමුදල 2009 වර්ෂයේදී කුවේට් ඩිනාර් මිලියන 10ක් ලබාදී ඇති අතර, ඔපෙක් අරමුදල (OFID) විසින් ඇ.ඩො.මිලියන 18ක අතිරේක ණය මුදලක් ලබාදීමට දැනටමත් එකඟ වී ඇති බවද මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
කුවේට් ඩිනාර් මිලියන 5ක් වූ අතිරේක ණය මුදලට අදාළ ගිවිසුම 2017 මාර්තු මස 30 වැනි දින කුවේට්හි අරාබි ආර්ථික සංවර්ධනය සඳහා කුවේට් අරමුදල් කාර්යාලයේදී අත්සන් කළ බවත්, කුවේට් අරමුදල වෙනුවෙන් නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් අල් - ඕමාර් මහතාද, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාද ඊට අත්සන් කළ බවත් මුදල් ආමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.