විදෙස් ආයෝජකයන් මෙරටට ආකර්ෂණය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන හා ආර්ථික අවස්ථා පිළිබඳ ගැඹුරින් සොයාබලා එම තොරතුරු ඇතුළත් කරමින් 'Sri Lanka 2016' නමින් වාර්තාවක් කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, එංගලන්තයේ Oxford Business Group නැමති සමාගම සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීම පසුගියදා සිදුවිය.
ඒ අනුව, එම සමාගමේ ආර්ථික විශ්ලේෂකයන් 05 දෙනෙකු ඉදිරියේදී මෙරටට පැමිණෙන අතර ඔවුන් ශ්‍රී ලංකාවේ මාස 06ක පමණ කාලයක් රැඳී සිටිමින් තොරතුරු ගවේෂණය කර 'Sri Lanka 2016' නැමති වාර්තාව සම්පාදනය කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ, මෙම වාර්තාව සකස් කිරීමට වැය වන විශාල මුදල එම සමාගම විසින් දරන බවයි. ඒ නිසා, ඒ වෙනුවෙන් ආයෝජන මණ්ඩලයට හෝ රජයට කිසිදු මුදලක් වැය නොවන බවද හෙතෙම අවධාරණය කළේය.
අදාළ වාර්තාව සකස් කිරීම සඳහා Oxford Business Group හි ආර්ථික විශ්ලේෂකයන් වෙත ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් කාර්යාල පහසුකම් සපයන අතර, ඊට අවශ්‍ය රජයේ ආයතනවල සහ පෞද්ගලික අංශයේ තොරතුරු ලබාදීමටද ආයෝජන මණ්ඩලය පහසුකම් සලසනු ඇති බව කියයි.