ශ්‍රී ලංකාවේ ගංවතුර හා නායයෑම් පශ්චාත් ආපදා සහන සැලසීම පැමිණි ඇමෙරිකානු නාවික හමුදාවට අයත් USS Lake Erie නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තූති කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
ඒ අනුව, විදෙස් ඇමති රවි කරුණානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා, බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල යන මහත්වරුන් සහ ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් මහතා USS Lake Erie වෙත අද (16දා) පැමිණියහ.
මෙහිදී, අදහස් දක්වමින් ඇමෙරිකානු තානාපතිවරයා පවසා සිටියේ, "කපිතාන් ඩැරන් මැක්ෆර්සන් ඇතුළු සියලුම සෙබළ සෙබළියන්ට මාගේ ස්තූතිය හිමි විය යුතුයි. මෙම කටයුත්තේ ඇති වැදගත්කම මෙන්ම, අප දෙරටේ හමුදාවන් අතර මෙම සහන සේවාවේදී ඇති වූ විශ්වාසය හා පලපුරුද්ද අනාගත මානුෂීය මෙහෙයුම් සඳහාද පිටිවහලක් වනු ඇති" යනුවෙනි.
ශ්‍රී ලංකාවේ ඇති වූ ආපදා තත්ත්වය හමුවේ දක්වන ලද මෙම සහයෝගය ඉතා අගය කොට සලකන බව එහිදී විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය. තවද මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ශ්‍රී ලංකාවේ මැරීන් බලකාය පිහිටුවීමට මුල් වූ එක්සත් ජනපද මැරීන් බලකාය සමග එක්ව වැඩකිරීමට ලැබීම ඉතා අගය කොට සලකන බවත් පැවසීය.
USS Lake Erie නෞකාව දෙසතියක පශ්චාත් ආපදා සහන සැලසීම සඳහා පැමිණ සිටින අතර ඔවුන්ගේ සහයෝගය මත ළිං 324 ක් ද, පාසල් 4 ක් පිරිසිදු කරනලද අතර වැව් බැමි 4 ක් ප්‍රතිසංස්කරණය කරනු ලැබූ බව කියයි.
USS Lake Erie නෞකාව නෞකාව ලබන 25 දින කොළඹ වරායෙන් පිටත්ව යාමට නියමිත වේ.