අශ්වයො ඔක්කෝම ගියාට පස්සෙ ඉස්තාලය වහලා - හිටපු අධිපති කබ්රාල්
ශ්‍රී ලංකා මහ බැංකුව වත්මන් අගමැතිවරයාගේ විෂයය පථයෙන් ගලවා ඉවත්කිරීමට කටයුතු කිරීම මීට බොහෝ කාලයකට පෙර සිදුකිරීමට තිබූ කාර්යයක් බවත්, එය සැබෑ ලෙසම අශ්වයන් සියල්ල ගියාට පසුව ඉස්තාලය වසා දැමීමක් හා සමාන බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා සිටියේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය ධුරය දරන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලංකා මහ බැංකුව, පසුගිය 28දා අති විශේෂ ගැසට් පත්‍රයකින් මුදල් අමාත්‍යාංශය යටතට පැවරා ගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් %අද^ කළ විමසීමකදී හිටපු මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් මතු කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා,
&අපි මුල සිටම කියා සිටියේ මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් වෙන් කරමින් වෙනත් අමාත්‍යාංශයකට සම්බන්ධ කිරීම නීති විරෝධී බවයි. ඒ වගේම, එය ප්‍රායෝගික නොවන ක්‍රියාවක් බවත් අප දිගින් දිගටම පෙන්වා දුන්නා. මේ ක්රියාවේ අයහපත් ප්‍රතිඵලය වත්මන් පාලනයේ පළමු මාසය තුළදීම ශ්‍රී ලංකාවේ සිදුවූ ලොකුම බැඳුම්කර වංචාව හරහා රටට පෙන්නුම් කළා. විශාලම කනගාටුව මෙය යළි නිවැරදි කිරීමට මාස 36ක කාලයක් ගැනීමයි.
බැඳුම්කර වංචාව මතුවූ විගස දවසින් දෙකෙන් කිරීමට තිබූ දෙයක්, එනම්, 2015 මාර්තු 15 වැනිදා කිරීමට තිබූ දෙයක්, ඉන් මාස 36කට පසුව 2018 මාර්තු 28 වැනිදා තමයි සිදුකළේ. එසේ බැලීමේදී, මේ ගැන මට නම් කිසිදු සතුටක් නැහැ. මොකද, මූලිකවම මේ කළ වැඩේ වැරදියි. එය නොකර සිටීමට තිබුණා. දෙවනුව, මෙහි වැරැද්දක් ඇති බව සොයාගත් සැණින් ක්ෂණිකවම එය වෙනස් කිරීමට තිබුණා. දැන් මේ වෙනසක් කළා කියන්නෙ, අශ්වයො ඔක්කෝම ගියාට පස්සෙ ඉස්තාලය වසා දැමීමක් වගෙයි. එක අශ්වයෙක් නෙමෙයි, ඔක්කෝම අශ්වයො ටික ගියාට පස්සෙ.* යනුවෙන් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


