කොටස් වෙළෙඳ පොළ තුළ ගනුදෙනු කළ හැකි ප්‍රධාන ආකාරය දෙකක් පවතී. ඉන් පළමු වැනි ආකාරය නම්, කොටස් තැරැව්කාර ආයතනය හා සෘජුව සම්බන්ධ වී ඔවුන්ගේ උපදෙස් මත කොටස් ගනුදෙනු කිරීමට කොටස් තරැව්කාර ආයතනයට දැනුම් දීමය. එවිට සිදුවන්නේ, කොටස් තැරැව්කාර ආයතනය ඔබ වෙනුවෙන් ඔබගේ ඇණවුම ක්‍රියාත්මක කිරීමය. එහිදී, කොටස් තැරැව්කාර ආයතනය ඔබගෙන් ඇණවුම ලබාගෙන කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු පද්ධතියට ඔබගේ ඇණවුම ඇතුළත් කිරීම සිදුවෙයි. මෙහි දෙවැනි ආකාරය නම්, ඔබ විසින් කොටස් තැරැව්කාර ආයතනයෙන් අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කිරීමේ පහසුකම ලබාගෙන ඒ හරහා ගනුදෙනු කිරීමය. එවිට ඔබ කොටස් තැරැව්කාර ආයතනය මගින් ලබාදුන් ගනුදෙනු පද්ධතියක් මගින් අන්තර්ජාලය හා සම්බන්ධ වී ගනුදෙනු කිරීම සිදුකරයි. මෙහිදී සිදුවන්නේ ඔබ කොටස් තැරැව්කාර ආයතනය හරහා ගනුදෙනු සිදුකිරීමය. මේ කුමන ආකාරයකට ගනුදෙනු සිදුකළත්, ආයෝජකයෙකුට සෘජුවම කොටස් වෙළෙඳ පොළ හා සම්බන්ධ විය නොහැකිය. එසේ සම්බන්ධ විය හැකි වන්නේ කොටස් තැරැව්කාර ආයතයක් හරහා පමණි. අන්තර්ජාලය හරහා ගනුදෙනු සිදුකිරීමේදීත් එම පහසුකම් ලබාදෙන්නේ කොටස් තැරැව්කාර ආයතනයක් විසිනි.
වර්තමානය වනවිට අනර්තජාලය හරහා කොටස් ගනුදෙනු සිදුකිරීම බෙහෙවින් ප්‍රචලිතව ඇත. බොහෝ ආයෝජකයන් කොටස් තැරැව්කාර ආයතනය අමතා ගනුදෙනු සිදුකරනවා වෙනුවට, තමන්ම අන්තර්ජාලය හා සම්බන්ධ වී ඒ හරහා ගනුදෙනු සිදුකරනු ලබයි. මෙසේ අන්තර්ජාලය හරහා ගනුදෙනු සිදුකිරීමේදී බොහෝ ආයෝජකයන් ඒ පිළිබඳව සැලකිලිමත් වන බවක් නොපෙනේ. එබැවින් මෙවර %අද ව්‍යාපාරික පිටුවේ^ %දැනුමෙන් ආයෝජනයට^ ලිපිය තුළින්, අන්තර්ජාලය හරහා කොටස් ගනුදෙනු සිදුකරන ඔබ පිළිපැදිය යුතු කරුණු කිහිපයක් සඳහන් කිරීමට අපි බලාපොරොත්තු වූවෙමු.
අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමට දැනුම අවශ්‍යයි
අන්තර්ජාලය හරහා ගනුදෙනු සිදුකළ යුත්තේ කොටස් වෙළෙඳ පොළ පිළිබඳව යම් අවබෝධයක් ඇති පුද්ගලයන්ය. යම් ආයෝජකයෙක් කොටස් වෙළෙඳ පොළට සම්බන්ධ වූ සැණින් අන්තර්ජාලය හරහා ගනුදෙනු සිදුකිරීම එතරම් ප්රඥාඝෝචර නොවේ. කොටස් වෙළෙඳ පොළට අලුතින්ම සම්බන්ධ වන පුද්ගලයෙකුට ඇති දැනුම අවම නිසා, එහිදී අන්තර්ජාලය හරහා ගනුදෙනු කරනවා වෙනුවට කොටස් තැරැව්කාර ආයතනය හරහා සෘජුව සම්බන්ධ වී ගනුදෙනු කිරීම ප්‍රයෝජනවත් විය හැකිය. ඔබ අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන්නේ නම්, කොටස් ගනුදෙනුවලට අදාළව සියලු තීරණ ගන්නේ ඔබ විසින්මය. අවශ්‍ය ගැනුම් සහ විකුණුම් ඇණවුම්ද අන්තර්ජාලයට ඇතුළත් කරන්නේ ඔබ විසින්මය. කුමන කොටසක් මිලදී ගන්නේ දැයි හෝ කුමන් කොටසක් විකුණන්නේ දැයි තීරණය කරන්නේද ඔබ විසින්මය. එසේ සලකා බැලීමේදී ඒ සඳහා ඔබට කොටස් වෙළෙඳ පොළ පිළිබඳ යම් දැනුමක් අත්‍යවශ්‍ය බව පැහැදිලිය.
අත්දැකීම් අඩු පිරිස් අන්තර්ජාල ගනුදෙනුවලට පිවිසීම
ගැනුම් හා විකුණුම් ඇණවුම් ක්‍රියාත්මක කිරීමේදී කුමන අවස්ථාවල කොටස් මිලදී ගන්නේද, කුමන අවස්ථාවල කොටස් විකුණන්නේද යන්න තීරණය කරනු ලබන්නේ ඔබ බැවින් එය ඉතා සැලකිලිමත්ව සිදුකළ යුතු කාර්යයක් බව මෙහිදී සඳහන් කරමු. මේ අනුව බලන විට අන්තර්ජාලය හරහා කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු සිදුකිරීම යෝග්‍ය වන්නේ කොටස් වෙළෙඳ පොළ පිළිබඳව දැනීමක් ඇති ආයෝජකයන් හටය. ඔබ නවක ආයෝජකයෙකු නම්, සිදුකළ යුතු වන්නේ මුලින්ම තැරැව්කාර ආයතනය හා එක්ව ඔවුන්ගේ උපදෙස් අනුව කටයුතු කර ගැනුම් සහ විකුණුම් ඇණවුම් කොටස් තැරැව්කාර ආයතනය හා එක්ව ඔවුන් ලවා ගනුදෙනු සිදුකිරීමය. එවිට ඔබගේ සියලු ඇණවුම් ක්‍රියාත්මක කරනු ලබන්නේ කොටස් තැරැව්කාර ආයතනය විසිනි. එවැනි අස්ථාවකදී ඔබ ගන්නා තීරණ පිළිබඳව යම් උපදෙසක් ලබාදීමට කොටස් තැරැව්කාර ආයතනයට හැකියාවක් ඇත. එසේ නොමැතිව ඔබ සෘජුවම කොටස් තැරැව්කාර ආයතනය මගින් ලබාදුන් අන්තර්ජාල ගනුදෙනු පහසුකම් සමග කටයුතු කරන්නේ නම් සියලු තීරණ ගනු ලබන්නේ ඔබ විසින්මය. අප පසුගිය කාලයේ දැක ඇති සමහර ගැටලුවලදී අත්දුටු ප්‍රධාන කාරණයක් නම්, අත්දැකීමෙන් අඩු ආයෝජකයන් අන්තර්ජාලය හරහා කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු සිදුකිරීමය.
අන්තර්ජාල කොටස් ගනුදෙනු ගිණුම ඔබට පමණයි
එමෙන්ම, ඔබ දැනටමත් අන්තර්ජාලය හරහා කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු සිදුකිරීමට කොටස් තැරැව්කාර ආයතනය මගින් පහසුකම් ලබා ඇත්තෙක් නම්, ඔබ විසින් පිළිපැදිය යුතු තවත් කාරණා කිහිපයක් තිබේ. එනම්, ඔබගේ අන්තර්ජාල කොටස් ගනුදෙනු ගිණුම ක්‍රියාත්මක කළ යුත්තේ ඔබ පමණක් වීමය. සමහර ආයෝජකයන් කොටස් තැරැව්කාර ආයතනය මගින් ලබාදුන් අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමේ පහසුකමේ අඩංගු මුරපදය (password) තවත් අය සමග හුවමාරු කරගෙන තම අන්තර්ජාල ගිණුම ක්‍රියාත්මක කරනු ලබයි. එය බෙහෙවින් භයානක ක්‍රියාවලියකි. අන් අය සමග පමණක් නොව තමන්ගේ කොටස් තැරැව්කාර ආයතනයේ සිටින ආයෝජන උපදේශක හරහාද සමහර පුද්ගලයන් ගනුදෙනු සිදුකරනු ලබයි. එවිට සිදුවන්නේ යම් ආයෝජකයෙකු තම අන්තර්ජාල පහසුකම තමන්ට අමතරව, කොටස් තැරැව්කාර ආයතනයේ සිටින ආයෝජන උපදේශක සමගද බෙදා ගැනීමය. සමහර අවස්ථාවලදී අන්තර්ජාල ගිණුමට ඇතුළත් වී ආයෝජකයා ගනුදෙනු සිදුකරන අතර, සමහර අවස්ථාවලදී එම ගිණුමටම ඇතුළත් වී කොටස් තැරැව්කාර ආයතනයේ ආයෝජන උපදේශකයා විසින්ද ගනුදෙනු සිදුකරයි. අන්තර්ජාලය හරහා ගනුදෙනු සිදුකරන පුද්ගලයෙකු මෙවැන්නක් සිදුකළ යුතු නොවේ. අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමේ පහසුකම තමා ලබාගත්තේ නම්, එය ඔහු විසින්ම ක්‍රියාත්මක කළ යුතුය. එම ගිණුම ක්‍රියාත්මක කිරීමට අන් අයෙකුට පැවරිය යුතු නොවේ. මෙහිදී, වඩාත් අර්බුදකාරී තත්ත්ව මතුවන්නේ ගැටලු ඇති වූ විටය. ඇණවුම් ක්‍රියාත්මක කරනු ලැබුවේ කොටස් තැරැව්කාර ආයතනයේ ආයෝජන උපදේශකද, එසේත් නැත්නම් ආයෝජකයාද යන්න පිළිබඳව ප්‍රශ්න මතුවේ. එබැවින්, අන්තර්ජාලය හරහා ගනුදෙනු සිදුකරන ආයෝජකයෙකු සිදුකළ යුතු වන්නේ එම පහසුකම එම ආයෝජකයා පමණක් භුක්ති විඳීමය.