අධිවේගී මාර්ගවල ධාවනයට අදාළව පෞද්ගලික බස් රථ සඳහා බලපත්‍ර ලබාදීම විනිවිධභාවයෙන් යුතුව සිදුකළ යුතු බවත්, දේශපාලන හිතවත්කම් මත බලපත්‍ර ලබාදීම වෙනුවට ඉදිරියේදී ටෙන්ඩර් කැඳවා, විනිවිධභාවයෙන් යුතුව එය සිදුකළ යුතු බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු සමග පසුගිය 12දා මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී රවි කරුණානායක මහතා මෙසේ කියා සිටියේය.
මගී ප්‍රවාහන ක්ෂේත්රය නගා සිටුවීම සඳහා මෙවර අයවැයෙන් වෙන්කළ මූල්‍ය ප්‍රතිපාදනවලට අදාළ සැලසුම් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සඳහා මෙම සාකච්ඡාව පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සහ පෞද්ගලික අංශයට අයත් බස් රථ ඒකාබද්ධ කාල සටහනකට ධාවනය කරවීම සම්බන්ධයෙන් නිවැරදි සැලැස්මක් අනුගමනය කිරීමටත්, එහිදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මුහුණදෙන ගැටලු පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර තිබුණි.
මේ අතර, ඉලෙක්ට්‍රොනික ගෙවීම් පත ලබන මාර්තු මාසයේ සිට තවදුරටත් ව්‍යාප්ත කිරීම පිළිබඳ අවධානය යොමු වූ අතර, ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට විශේෂ යෝජනාවක් ගෙන ඒමටද තීරණය විය.
අන්තර් පළාත් බස් රථ සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී අදාළ නගරය ආශ්රිත කිලෝ මීටර් 10ක දුර ප්‍රමාණය ඇතුළත සිටින අයදුම්කරුවන් සඳහා ඉදිරියේදී ප්‍රමුඛතාව ලබාදීමටද නියමිතව තිබේ.