එජාපයේ ඇමතිවරු සිය අමාත්‍යාංශවලින් රටේ ආර්ථිකය පොහොසත් කරන විට, ශ්‍රීලනිපයේ ඇමැතිවරු එම ආදායම දොවමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසා සිටියේය.
මන්ත්‍රීවරයා මෙසේ අදහස් දක්වා සිටියේ පසුගිය 09දා කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ සකස් කළ ජාත්‍යන්තර මට්ටමේ කෘත්‍රිම ධාවන පථය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදී වැඩිදුරටත් අදහස් දක්වා තිබූ රවි කරුණානායක මහතා,
"අද මේ වැය කරන්නෙ රටේ මුදල්. රටේ මුදල් කියන්නෙ ජනතාවගේ මුදල්. මම මුදල් ඇමැති කාලෙ දයාසිරි ජයසේකර ඇමැතිතුමාගේ ඉල්ලීමකට අනුව මේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා විශාල මුදලක් වෙන්කළා. දයාසිරි ඇමැතිතුමා ඒ මුදල්වලට සාධාරණය ඉටුකර තියෙනවා. අනෙකුත් අමාත්‍යාංශවලත් මේ වගේ වැඩ සිදුවෙනවා නම් මේ රට ගොඩ නැඟීම අපහසු නෑ.
අද නාස්තිය දූෂණය ඉහළ ගිහින් තියෙන්නෙ. ආණ්ඩු වෙනස් වුනත්, දූෂණයට සම්බන්ධ සුළුතර නිලධාරීන් වෙනස් වෙලා නැහැ. මේ රට හදන්න පුළුවන්, නිවැරදි දැක්මක් යටතේ වැඩකිරීමෙනුයි. අද වැඩ කරන අයට තමයි, චෝදනා කරන්නෙ. දැන් එජාපය හා ශ්රීලනිපය සංසන්දනය කළොත් කොටස් දෙකක්. එක පැත්තකින් පොවනවා, අනෙක් පැත්තෙන් දොවනවා. එජාපයේ ඇමැතිවරුන්ට තියෙන්නෙ පොවන අමාත්‍යාංශ. මුදල්, විදේශ කටයුතු වගේ අමාරුවෙන් කරගෙන යන අමාත්‍යාංශ. ශ්‍රීලනිපයට තියෙන්නෙ දොවන අමාත්‍යාංශ. සමෘද්ධි, කම්කරු, ක්‍රීඩා වගේ අමාත්‍යාංශ. එජාපය පොවනවා, ශ්රීලනිපය දොවනවා. ජනතාවට ප්රතිලාභ දෙන්න පුළුවන් අමාත්‍යාංශ ටික තියෙන්නෙ, ශ්‍රීලනිපයේ ඇමැතිවරු ළඟ. දැන් විශ්වාස භංගයේදී දායාසිරි ඇමැතිතුමා එක මතයක හිටියේ. ෆවුසි ඇමැතිතුමා තවත් මතයක හිටියෙ. මේක නොවෙයි, අද අවශ්‍ය වෙන්නෙ. මගේ අදහස්වලට විශ්වාස භංග අවශ්‍ය නෑ. නමුත් ජනතාව තුළින් තමයි, විශ්වාසය ගේන්න අවශ්‍ය වන්නෙ." යනුවෙන් පවසා සිටියේය.
මෙහිදී, අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා තිබුණේ රවි කරුණානායක හිටපු මුදල් අමාත්‍යවරයාගේ අදහස තමා වෙනස් ආකාරයකින් දකින බවය.
"තණකොළ කවන්නෙ ශ්‍රීලනිපයේ ඇමැතිවරු. දොවන්නෙ එජාපයේ ඇමැතිවරු කියල මම කල්පනා කරන්නෙ.
විශ්වාසභංග යෝජනාවේදී මම හිතට එකඟව පක්ෂපාතීව ඡන්දය භාවිත කළා. මොකද බැඳුම්කර සිද්ධිය ගැටලුකාරි නිසා මගේ හිතට එකඟව ඊට විරුද්ධව ක්‍රියා කරන්න බෑ. සම්මුතිවාදී පාලනයකදී හැමෝටම ගෞරවාන්විතව කටයුතු කරන්න අවකාශ තිබිය යුතුයි.
දැන් ශ්‍රීලනිපයේ විවිධ දේ කියනවා. පිං ඇමැතිවරු කියනවා. විවිධ නම් පට බැඳීලා. තව දවස් දෙක තුනකින් අපි මේ ආණ්ඩුවේ කටයුතු කරනවද, නැද්ද යන්න තීරණය කරනවා" යැයි දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.
මෙම අවස්ථාවට අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා ඇතුළු රජයේ මැති ඇමැතිවරු සහ නිලධාරීන් එක්ව සිටියහ.